- මියගිය අය අතර මව මාස 2ක බිලිඳියක් අවු. 7, 4, 2 දරුවෝ සහ තවත් අයෙක්
- පියාටත් බරපතළ තුවාල
කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලකට අයත් පුද්ගලයන් හය දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පදිංචි 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවකු කැනේඩියානු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබ ඇත්තේ එකම පවුලේ මව, දරුවන් සිව්දෙනා සහ එම නිවෙසේ ජීවත් වූ 40 හැවිරිදි තවත් පුද්ගලයකු බව ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ සිට මෑතකදී කැනඩාවට ගිය පවුලක සාමාජිකයන් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන අතර, මේ සිද්ධියෙන් මියගිය පිරිස අතර වයස අවුරුදු 35ක් වූ දර්ශනී ඩිලන්තිකා ඒකනායක නමැති මව, වයස අවුරුදු 7ක් වන ඉනූක වික්‍රමසිංහ, වයස අවුරුදු 4ක් වන අශ්විනී වික්‍රමසිංහ, වයස අවුරුදු 2ක් පමණ වන රින්යානා වික්‍රමසිංහ සහ මාස 2ක් පමණ වයසැති කෙලී වික්‍රමසිංහ වෙති. ඝාතනය වූ අනෙක් පුද්ගලයා ගාමිණී අමරකෝන් නමැති 40 හැවිරිදි අයෙකි. මේ සිද්ධියෙන් දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ යන අය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මේ ඝාතන සිදු කර ඇත්තේ ෆේබ්‍රියන් ද සොයිසා නම් 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු බවත්, ඔහු අධ්‍යාපනය සඳහා කැනඩාවට පැමිණ ඇති බවත් ඔටාවා පොලිස් ප්‍රධානියා පවසා ඇති අතර, ඔහු මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ නිවෙසේ කලක් පදිංචිව සිට ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවද ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවද වාර්තා වෙයි.
කැනඩාවේ ඔටාවා නුවර නිවෙසක මේ සමූහ ඝාතනය සිදුව තිබෙන අතර පසුගිය 6 දා රාත්‍රි රාත්‍රී 10.50ට පමණ ඔටාවා පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙන බවත්, ඒ සමඟ පොලිස් රථ හා ගිලන් රථ අදාළ නිවෙස අසළට පැමිණි බවත් කැනඩා මාධ්‍ය වාර්තා කරයි. මෙය පවුල තුළ ඇති වූ ආරවුලක්ද යන සැකය ගැන පොලිසියෙන් කළ විමසීමේදී පොලිසිය එය පවුලේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළ ආරවුලක් නොවන බව පවසා ඇත. මේ අතර ඝාතනය සිදුවීමට පෙර අදාළ ශ්‍රී ලාංකික පවුල වෙතින් පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබූ බව ඔටාවා පොලිස් ප්‍රධානියා සඳහන් කර ඇත.
මේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා එක්වර නොව වරින් වර කැනඩාවට සංක්‍රමණය වූවන් වන අතර, මියගිය දරුවන් සිව්දෙනා අතර සිටි මාස දෙකහමාරක කුඩා දැරිය කැනඩාවේදී උපත ලබා තිබේ. වෙඩි තැබීමකින් මේ ඝාතන සිදුව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කළද සැකකරු තියුණු ආයුධයකින් පහර දී මේ ඝාතන කර ඇති බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කරයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධය සිදු වූ නිවෙසේ සිට කිලෝමීටර් 15ක පමණ දුරකින් යුතු ස්ථානයක රැඳී සිටිය දී බව වාර්තා වෙයි. මේ සැකකරුට විරුද්ධව මිනීමැරුම් චෝදනා 6ක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් ගොනු කර ඇති බවට ඔටාවා පොලිසිය ප්‍රකාශ කර තිබෙන අතර ප්‍රථම වතාවට සැකකරු (7) අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, නැවත එළඹෙන 14 දා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අධිකරණයට ඉදිරිපත් කර තිබෙන මේ සැකකරු ඉතා අඩුවෙන් කථා කර ඇති අතර අධිකරණයේ නැවත වාඩි වීමට ප්‍රථම තම නම සහ උපන් ස්ථානය පමණක් සඳහන් කර තිබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම පිළිබඳ තමා කම්පනයට පත් වන බවයි. මේ සිදුවීම සිය නගර ඉතිහාසයේ වඩාත්ම කම්පනයක් ඇති කළ ප්රචණ්ඩ සිදුවීමක් බව ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් ද ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.