විප්ලවවාදීන්ගේ වැඩ නිසා ජීවිත විශාල ප්‍රමාණයක් රටට අහිමි වුණා

මේ රටේ විප්ලවයක් කරන්න උත්සාහ කරනවා යැයි පවසන විප්ලවවාදීන්ගේ ත්‍රස්තවාදය නිසා ජීවිත අහිමි වීම් විශාල ප්‍රමාණයක් සිදු වූ බවත් උතුරේ මෙන්ම දකුණේ ද ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වූ බවත් නැවතත් මෙවැනි ඛේදවාචකයක් රට තුළ නිර්මාණය නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 119 වැනි අදියර යටතේ (05) මොනරාගල බුත්තල ලුණුගල යෝධවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. අමෙරිකානු ඩොලර් බිලියන 90ක් අප ණය වී ඇති බැවින් 2019 වූ ආකාරයේ වරදක් නැවත නොකරන ලෙසත් එම රජය ගත් අමනෝඥ තීන්දු තීරණ නිසා රට විනාශ වූ බවත් නැවත වරක් එවැනි දෙයක් වුවහොත් රටට වෙන දෙය සිතාගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රට බංකොලොත් වී ඇති අවස්ථාවක අධ්‍යාපනය සඳහා අමතර මුදල් වෙන් කරන්න නොහැකි බවට රජය පැවසුවත් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් මුදල් සෙවිය හැකි ක්‍රම රාශියක් පවතින බවත් ඒ ක්‍රම තුළින් පවතින අධ්‍යාපන ක්‍රමය වඩාත් හොඳ ගුණාත්මකභාවයෙන් යුක්තව ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටේ සෑම පාසලකම අබලන් වූ අංග රාශියක් ඇති බවත් එම අබලන් ස්ථාන නඩත්තු කරන්න කිසිවකුත් නැති නිසා පාසල් ඉදි කරන්න පමණක් නොව නඩත්තු කටයුතු සඳහා ද වැඩසටහනක් අවශ්‍ය බවත් ඒ සඳහා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් හා දානපතියන් උපයෝගි කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.