ජනාධිපතිවරණය තියන්නම ඕනෙ, හැබැයි ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව විසි​රෙව්වොත් මහ මැතිවරණය තියෙයි – බැසිල්

නිල වශයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු වුවද, ඊට පෙ​ර පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මහ මැතිවරණය පැවැත්විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේද, නැතහොත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන්නේද යන්න සම්බන්ධයෙන් විමසූ පැනයට පිළිතුරු ලබාදෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ, කවුරුන් පැමිණියද ඔහු පැමිණෙන්නේ පොහොට්ටුවේ සහයෝගයෙන් බවයි.

තමන් කිසි දිනක ජනතාව රැවැට්ටවීමට කටයුතු නොකරන අතර ජනතාව පවසන දේ සිදුකරන බවත්, සමහර තැන්වලදී වැරදීම් සිදුවුවද, ජනතාව කියූ දේ පිළිනොගත් අවස්ථාද තිබුණද, ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යන බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ රාජපක්ෂවරයෙක්ද යන්න මාධ්‍යවේදීන් විමසූ පැනයට පිළිතුරු ලබාදුන් ඔහු සඳහන් කළේ, එය තීරණය කළ යුත්තේ ජනතාව බවත් එසේ ඉදිරිපත් වනු ඇති බවට තමන් නොසිතන බවයි.