දෙහිවලදී කාරයකට යට කර යතුරුපැදිකරුවකු ඝාතනයට ඉංජිනේරුවෙක් රිමාන්ඩ්

දෙහිවල – කඩවත පාරේදී යතුරුපැදිකරුවකු මෝටර් රථයකින් යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාර්මික ඉංජිනේරුවරයකු දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයා දෙහිවල, ෆෙෂර් ඇවනිව්හි පදිංචි 30 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා විසින් මෝටර් රථයට යටකර මරා දමා ඇත්තේ මොරටුව කටුබැද්ද පෙරේරා මාවතේ පදිංචිකරුවකු වන ඩී. රංජිත් (52) නමැති අයෙකි. තිදරු පියකු වන මොහු කොල්ලුපිටිය ප්‍රදේශයක පොල්තෙල් බෝතල් බෙදාහරින ආයතනයක රැකියාවේ නිරතව සිට ඇත.

උදෑසන 7.45ත් – 8ත් අතර මෙම අනතුර සිදුව තිබේ. කාර්මික ඉංජිනේරුවරයා තරුණියක මුණගැසී මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී පටු මාර්ගයක් වූ කඩවත පාරේ අඩු වේගයකින් රථය ධාවනය කරමින් තිබී ඇත. එවිට යතුරුපැදිකරු මෝටර් රථය ඉස්සර කර ඇති බවත් එම අවස්ථාවේදී මෝටර් රථය පදවමින් සිටි කාර්මික ඉංජිනේරුවරයා යතුරුපැදිකරුට බැණවැදී ඇති බවත් පොලිසිය කියයි. එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම සිදුවීමෙන් පසු යතුරුපැදිකරු සිය යතුරුපැදිය ඉදිරියට ධාවනය කරමින් තිබියදී මෝටර් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කරමින් යතුරුපැදියේ ගැටීමට සලස්වා ඇති බව පොලිසිය කියයි. එහිදී යතුරුපැදිකරුව මෝටර් රථයට යටවී බරපතළ තුවාල ලබා ඇත. ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත.

යතුරුපැදියේ ගැටුණු මෝටර් රථය සිමෙන්ති ගැට්ටක ගැටී අසල තිබුණු දුරකතන කුලුනක ද ගැටී පෙරළී ඇත. මෝටර් රථයට ද එමඟින් දැඩි හානි සිදුව තිබේ. දුරකතන කුලුනටද හානි සිදුව ඇත.

පොලිසිය පවසනුයේ මෙම අනතුර සිතාමතා සිදු කළ අනතුරක් බවත් මෙය මිනිස් ඝාතනයක් සේ සලකා විමර්ශන පවත්වන බවත්ය. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22) ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර මත්පෙති හා අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි පරීක්ෂා කිරීමට පොලිසිය අධිකරණ නියෝග ලබාගෙන තිබේ.