සිරිපා වන්දනාකරුවන් රැගත් බසය නානුඔයදී පෙරළී 8කට තුවාල

මාතර සිට නුවරඑළිය හරහා වන්දනාකරුවන් පිරිසක් ශ්‍රී පාද වන්දනාවේ රැගෙන පැමිණි පෞද්ගලික බස් රථයක් නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී මාර්ගය හරහා පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

ඊයේ (22) රාත්‍රි 7ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදීය.

අධික බැවුමක් සහිත එම මාර්ගයේ ධාවනය වී ඇති බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් බස් රථය රියැදුරු පාලනයෙන් මිදී ප්‍රධාන මාර්ගය අසල පිහිටි කන්දක හැපී මාර්ගයේ එක් මංතීරුවක් හරහා පෙරළී ඇත. අනතුරෙන් තුවාල ලැබූවන් අතර කුඩා ළමයින් කිහිපදෙනකු සිටින බවත් බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ 35 දෙනකු පමණ ගමන් කර ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටී.

බස් රථයේ ගමන් ගත් පිරිස මාතර සහ අකුරැස්ස ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඉකුත් වසරේ ජනවාරි (22) මෙම අනතුර සිදු වූ ස්ථානයට යාබදවම පාසල් ළමයින් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට පත් වීමෙන් හත දෙනකු ජීවිතක්ෂයට පත් වූහ.

රදැල්ල කෙටි මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය තහනම් කර තිබියදී බස් රථය ඒ පිළිබඳ නොදැනුවත්කමින් ධාවනය කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය.