මෙරට න්‍යෂ්ටික බලාගාර ඇති කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

මෙරට න්‍යෂ්ටික බලාගාර ඇති කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්විණි.

න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදු කරන විට සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම මෙහි අරමුණයි. මෙරට පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදුකිරීමේදී පාර්ශ්වකාර ආයතන ලෙස කටයුතු කරන ආයතන 17ක පමණ නියෝජිතයෝ මේ වැඩසටහනට සහභාගී වූහ.

අන්තර් ජාතික පරමාණු බලශක්ති ආයතනයේ උපදේශකවරයකු වන න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ විශේෂඥ ආචාර්ය හලිල් අවුසි (Halil Avci) මහතා මෙහිදී දේශන පැවැත්විය.

යම් රටක් තුළ න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න පිළිබඳව එම රටේ රජය තීරණය කළ යුතු බවත් රටක් න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට තීරණය කරන්නේ නම් ඊට අදාළ නීතිමය පසුබිමක් සැකසීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කළ යුතු බවත් ආචාර්ය හලිල් අවුසි මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු, පරමාණු බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ වැඩසටහනට සහභාගී වූහ.