බුරුමයේ ඇණවුමකට සූර්ය බලයෙන් යන සැප මගී යාත්‍රාවක් යාපනයේදී හදයි

යාපනයේ කරෙයිනගර් Òමහසෙන්Ó නැව් නිපදවීමේ ආයතනය විසින් නිපද වූ සූර්ය බලයෙන් යාත්‍රා කළ හැකි අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් කරෙයිනගර්හිදී පෙරේදා (19) දියඹට දැමීය.

බුරුමයේ සංචාරක සමාගමක ඇණවුමක් මත මේ අතිසුඛෝපභෝගී යාත්‍රාව නිපදවා ඇති අතර, එම නැව බුරුමයේ සංචාරක කටයුතුවලට යොදා ගැනෙයි. මගීන් 150කට ගමන් කළ හැකි මේ අතිසුඛෝපභෝගී යාත්‍රාව වායු සමීකරණ පද්ධතියකින් සහ සියලු පහසුකම්වලින් සමන්විතය. යාත්‍රාව දියඹට දැමීම සාර්ථක ලෙස සිදු වූ බව කරෙයිනගර් මහසෙන් නැව් නිපදවීමේ ආයතනය ප්‍රකාශ කරයි. කරෙයිනගර් ප්‍රදේශයේ මේ මහසෙන් නැව් නිපදවීමේ ආයතනය මීට වසර හතරකට පමණ ඉහත දී උතුරේ ධීවරයන්ට අවශ්‍ය ධීවර යාත්‍රා නිපදවීම පිණිස ආරම්හ කළ කර්මාන්ත ශාලාවකි. කර්මාන්තශාලාවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් යාත්‍රා නිෂ්පාදනය කිරීම තම ආයතනය ලද විශිෂ්ට ජයග්‍රහණයක් බව ද ආයතනය කියයි.