හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි..

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද(17) උදෑසන අභාවප්‍රාප්ත විය.

ඒ, පන්නල, බෝපිටිය, මාහොලව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ය.

අභාවප්‍රාප්ත වනවිට ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ වයස අවුරුදු 83 කි.

1941 ජනවාරි 29 වැනිදා කුරුණෑගලදී උපත ලද ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.

වයඹ පළාතේ ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද ජයවික්‍රම පෙරේරා මහතායි.

වාරිමාර්ග හා ජල කළමනාකරණ , ආහාර සුරක්ෂිතතා ,තිරසාර සංවර්ධන හා වනජීවී සහ බුද්ධ ශාසන ඇතුළු අමාත්‍ය ධුර ගණනාවක් හෙබවූ ඔහු එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළේ ය.

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ජයවික්‍රම මහතාගේ දේහය හෙට උදෑසන සිට මහජන ගෞරවය සඳහා මාහොලව නිවසේ තැන්පත් කර තැබෙනු ඇති.

අවසන් කටයුතු ලබන අඟහරුවාදා පන්නල ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.