දිනේෂ්-නුවන් ඩුබායිහිදී රන් දිනති

ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේ 15 වැනි තරගය ලෙස ඩුබායිහිදී පැවති ෆාසා ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ දිනේෂ් ප්‍රියන්ත සහ නුවන් ඉන්දික සමත් වූහ.

මේ තරගාවලියේදී F46 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක් වූ දිනේෂ් ප්‍රියන්ත මීටර් 60.27ක දක්ෂතාවක් සමඟින් රන් පදක්කම දිනාගත් අතර, මීටර් 100 ඉසව්වේ T44/T45 කාණ්ඩයෙන් ජය හිමි කර ගැනීමට නුවන් ඉන්දික සමත් විය. ඔහු තරගය නිමා කිරීමට තත්පර 11.67ක කාලයක් ගත කළේය. ඊයේ නිමා වූ මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනේෂ් සහ නුවන් සමඟ අනිල් ජයලත්, බුද්ධික ඉන්ද්‍රපාල සහ සමන් සුබසිංහ එක් වූ අතර, පුහුණුකරු ලෙස විමුක්ති ද සොයිසා එක් විය.