කෙහෙළිය රෑට නින්දෙන් හුස්ම හිරවෙන රෝගයකින් පෙළෙන බව නීතීඥවරු අධිකරණයට දැනුම්දෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව ඔහුගේ නීතීඥයා කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා බන්ධනාගර ගත කිරීමෙන් පසු රුධිර පීඩනය විචලනය වී, උදරයේ බඩවැල් ව්‍යාකූල වී, වකුගඩු රෝගී තත්ත්වයක් හා දියවැඩියාවෙන්ද පෙළෙන බවයි නීතීඥවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ.

එසේම ඔහුට ඇති සුවිශේෂී රෝගය වන්නේ රාත්‍රීයේදී නින්දෙන් හුස්ම හිරවීම බවත්, ඔහුට නොදැනුවත්වම ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නිසා කෘතිමව ඔක්සිජන් සැපයිය යුතු බවත්, බන්ධනාගාරයේ මෙම රෝගී තත්ත්වයට ලබාදිය යුතු ප්‍රතිකාර නොමැති බවයි වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු අමාත්‍යවරයාගේ නීතීඥවරයා සඳහන් කර ඇත්තේ.

ඉන් අනතුරුව ජනාධිපති නීතීඥවරයා අදාළ රෝගී තත්ත්වය ඇතිවූ අවස්ථාවක පුද්ගලයෙකු නිදාගත යුතු ආකාරය දැක්වෙන රූප සටහනක් මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර ඇති අතර එයට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරිය, කිසියම් සැකකරුවකුට රෝගී තත්ත්වයන් ඇත් නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට පිළිගත හැකි සත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු බවද, එසේ නොමැතිව අන්තර්ජාලයෙන් ලබාගත් රූප සටහන් අධිකරණයට පිළිගත හැකි සාක්ෂි නොවන බවද, අධිකරණය ඉදිරියේ චිත්‍රපටි පෙන්වීමට අවස්ථාව ලබා දිය නොහැකි බවද පවසා ඇති බව වාර්තා වෙනවා.