කොළඹ මහනගර සභාවම අපට සුද්ද කරලා දෙන්න-දෙමටගොඩ, කොටහේන, මරදාන ජනරැලි හමුවේ අගමැතිනිය කියයි

“කොළඹ නගර සභාව කිව්වාම සාමාන්‍යයෙන් ඔළුවට එන්නේ හොර ගුහාවක් කියන එකයි. මුදල් නාස්ති කරන, අතෙන්ට මෙතෙන්ට යවන, කිසිම වැඩක් කරගන්න බැරි තැනක් හැටියට නගර සභාව ගැන ප්‍රතිරූපය ගොඩනැඟී තිබෙනවා. මේ තමයි නගර සභාව ගැන අපට හැදිලා තිබෙන ප්‍රතිරූපය. මේක වෙනස් කරන්න ඕනෑ” යැයි අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

කොළඹ මහනගර සභාවට තරග කරන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට දෙමටගොඩ, කොටහේන, මරදාන හා කොම්පඤ්ඤවීදියේ පෙරේදා (28) පැවැති ජනහමු අමතමින් අගමැතිනිය මේ බව සඳහන් කළාය.

කොළඹ නගර සභාවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 30ක් තිබෙන බවත් කොළඹට පොහොසත් නගර සභාවක් තිබෙන බවත් අගමැතිනිය මෙහිදී කීවාය.

ආගමික හා සංස්කෘතික විවිධත්වයත් සමඟ කොළඹ හරි ලස්සනයි. අපි සියලු දෙනා එකතු වෙලා අපේ නගරය ලස්සනම නගරය බවට පත් කරමු. සැවොම කිසිම භේදයක් නැතිව ජාතික ජන බලවේගය වටා එකතු වෙලා ඉන්නේ ඒ අරමුණින් බව ද අගමැතිනිය පැවසුවාය.

අගමැතිනිය වැඩිදුරටත් මෙසේද පැවැසුවාය.

“කොළඹ නගර සභාවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 30ක්. කොළඹට පොහොසත් නගර සභාවක් තියෙනවා. මොනවාද අඩු මේ නගර සභාවට. මේ ප්‍රදේශ කොච්චර දියුණු කරන්න පුළුවන් ද? ජනතාව ගැන හැඟීමක් නැහැ. ජනතාවගේ ජීවිත දියුණු කරන්න වුවමනාවක් නෑ. මේ රටේ ජනතාව 2024 දී මේ රට වෙනස් කරන ගමන ආරම්භ කළා. මේ රටේ ඉතිහාසය වෙනස් කරන තීන්දු දෙකක් දුන්නා ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී. ඒක හරහා සියලු දෙනාම නියෝජනය වන ආණ්ඩුවක් දැන් අපට තියෙනවා. ඔබ සියලු දෙනාගේම හඬ, ඔබ සියලු දෙනාගේම අවශ්‍යතා නියෝජනය කරන ආණ්ඩුවක් අපට තියනවා.

අවුරුදු දෙකකට කලින් ඔබට මතක ඇති මේ මැතිවරණය තියන්න තිබුණේ 2023 වසරේ. අපි කිව්වා බිමින් පටන් ගමු කියලා. හැබැයි ජාතික ජන බලවේගය දිනන්න යන විට රනිල් වික්‍රමසිංහ මොකක්ද කළේ? ඡන්දය නැති කළා. ජාතික ජන බලවේගය නඩු කියලා තමයි මේ මැතිවරණය ලබා ගත්තේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගන්න අපට පුළුවන් වුණේ නඩු කියලා. ඒ නිසා තමයි අවුරුදු දෙකක් පරක්කු වුණත් මේ පළාත් පාලන මැතිවරණය අපට තියන්න අවස්ථාව ලැබී තිබෙන්නේ. 2024 ආරම්භ කළ ඒ ඓතිහාසික ගමන අපි නගර සභාව දක්වා ගේමු.

ඔබ දන්නවා අපේ ප්‍රතිවාදීන් අපට එක එක දේවල් කියනවානේ. හැබැයි ඒගොල්ලන්ට කියන්න බෑ අපි හොරකම් කරනවා කියලා. මිනිසුන්ගේ මුදල් අපි ආරක්ෂා කරනවා. ආණ්ඩුවක් කොහොමද තිබිය යුත්තේ කියන එක අපි අනුර සහෝදරයා දිනපු දවසේ ඉඳන් පෙන්නුම් කරලා තියෙනවා.

මේ මුහුණු දිහා බැලුවාම මොකක්ද අපිට කියන්න පුළුවන්. මැයි 6 වැනිදා ජාතික ජන බලවේගය කොළඹ නගරය ජයග්‍රහණය කරනවා කියන එක ගැන කිසිම සැකයක් නැහැ. අපේ ව්‍රායි සහෝදරී නගරාධිපතිනිය වෙන්න නියමිතයි. ඒක ආයිත් කියන්න දෙයක් නැහැ. මේ නගරයේ ඔබ සියලු දෙනාම හොඳින් දන්නා ඔබ ළඟට එන, ඔබට ළඟට එන්න පුළුවන්, කතා කරන්න පුළුවන් නගරාධිපති කෙනෙක් දැන් ඔබට ඉන්නවා. දක්ෂ කණ්ඩායමක් එක්ක ඇය නගරාධිපති වෙන්න යන්නේ. මේ නගරය ඇත්තටම අපට ආඩම්බරයක් වෙන්න පුළුවන් විදියට සංවර්ධනය කරන්න, ලස්සන කරන්න විශාල වුවමනාවක් ඇයට තිබෙනවා. මම දන්නවා ඔබ සියලු දෙනාටම සිහින තියෙනවා. මේ දරුවන්ට මේ ඉන්න ළමයින්ට අනාගතයක් ගැන සිහින තියෙනවා. අපට අපේ අධ්‍යාපන ක්‍රමය හරියට හදාගන්න ඕනෑ. නගර සභාවට පෙර පාසල භාර දුන්නා වගේම අපි ජාතික මට්ටමේ රටේ අධ්‍යාපනය හදන්න ලොකු වෙහෙසක් ගන්නවා. විශාල වුවමනාවක් තියෙනවා.

සියලු දරුවන්ට ඉස්කෝලේ යන්න ආස හිතන විදියේ අපට නගර සභාව සුද්ද කරලා ඕනෑ. අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. අපි ඇවිත් මාස හයයි තාම, තව කරන්න වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. මේ ආර්ථිකය දැන් අපි ස්ථාවර කර තියනවා. ඊළඟට අපි ආර්ථික වර්ධනයක් ලබාගන්න ඕනෑ. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන විශ්වාසයක් අපට තියෙනවා. ඒ සඳහා තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ මේ වගේ දක්ෂ කණ්ඩායමක් නගර සභාවට තෝරලා එවන්න කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර, හේමන්ත විජේකෝන්, කොළඹ මහනගර සභා නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.