මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කිරීමෙන් අනතුරුව අධිකරණය මඟින් ගෙවන ලෙස නියම කරනු ලැබූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙවා අවසන් බව ඒ මහතාගේ නීතිඥවරු ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්හ.
එම ජනාධිපති සමාව දීමට එරෙහි පෙත්සම එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විසින් මේ බව දැනුම් දෙන ලදි.
අධිකරණය මීට පෙර කළ නියෝගයකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම පෙත්සම ඉකුත් මාර්තු මස කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ අධිකරණය මඟින් නියම කරනු ලැබූ වන්දි මුදල වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙවා නොමැති බවය. ඒ අනුව මේ පිළිබඳ විමසීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් එදින නොතීසි නිකුත් කරන ලදි.
එහෙත් එදින එම නොතීසි නිකුත් කිරීමේ නියෝගය නිකුත් වී ස්වල්ප වෙලාවකින් වෙනත් විනිසුරු මඬුල්ලක් අසුන්ගත් අතර අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ වන්දි මුදල ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගෙවා ඇති බවය.
අදාළ නොතීසි නිකුත් කළ විනිසුරු මඬුල්ල එම අවස්ථාවේ අධිකරණයේ අසුන්ගෙන නොසිටි හෙයින් එම විනිසුරු මඬුල්ල නියම කළ දිනයේ එම කරුණ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කෙරිණ.
ඒ අනුව මෙම පෙත්සම ඊයේ (29) කැඳවූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය මඟින් නියම කළ වන්දි මුදල තම සේවාදායකයා විසින් දැනටමත් ගෙවා අවසන් කර තිබෙන බව සඳහන් කර සිටියේය.
ඒ අනුව සිය සේවාදායකයා මුදාහරින ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අධිකරණය හමුවේ පෙනීසිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව අදාළ නඩුකරයෙන් මුදාහැරීමට නියෝග කළේය.