සවාඩ් අබ්රාර්ගේ විශිෂ්ට ශතකයත්, අල් ෆහාඩ්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ සීසීසී පිටියේ පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් හිමිකර ගැනීමට සංචාරක බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් පිල ඊයේ සමත් විය.
මේ ජය සමඟ තරග 6කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට සංචාරකයන්ට හැකි විණි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 211කට සීමා කළ බංග්ලාදේශ පිලට ඉලක්කය සපුරා ගැනීම සඳහා වැය වූයේ ඕවර 34.3ක් පමණි. ඒ අතරතුර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවා ගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණක් වන අතර, කුගදාස් මාතුලන්ගේ පන්දුවක් හමුවේ ආරම්භක පිතිකරු කලාම් සිද්දික් ලකුණු 5කට දැවී ගියේය.
ආරම්භක පිතිකරු සවාඩ් අබ්රාර් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 130ක් රැස් කළේ පන්දු 106කිනි. හතරේ පහර 14කින් සහ හයේ පහර 6කින් ඉනිම වර්ණවත් කරගත් ඔහුට අනගි සහායක් දුන් නායක අසිසුල් හකීම් පන්දු 89කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 69කි. දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩනැඟූ නොබිඳුණු සබඳතාව ලකුණු 180කි.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් චාමික හීනටිගල ලකුණු 51ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු 91කදී හතරේ පහර 2ක් එල්ල කළ ඔහු සමඟ 5 වැනි කඩුල්ලට එක් වූ දිනුර දම්සිත් ලකුණු 81ක සබඳතාවක් ගොඩනැඟූ අතර, දම්සිත් පන්දු 52කින් ලකුණු 47ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ආරම්භක පිතිකරුවන් වූ දිමන්ත මහවිතාන ලකුණු 39ක් සහ දුල්නිත් සිගේරා ලකුණු 23ක් ඉනිමට එක් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි. හීනටිගල සමඟ අවසන් කඩුලු 5 ලකුණු 27ක් තුළ බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා පිලට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි විය. දක්ෂ පන්දු යැවීමක නිරතවූ අල් ෆහාඩ් ලකුණු 44කට කඩුලු 6ක් බිඳ දැමූ අතර, ඉක්බාල් හුසේන් එමොන් කඩුලු 2ක් දවා ගත්තේය. දෙපිල අතර තෙවැනි එක්දින තරගය හෙට (30) කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා යොවුන් පිල – 211 (ඕවර 48.5) චාමික හීනටිගල 51, දිනුර දම්සිත් 47 (අල් ෆහාඩ් 44/6, ඉක්බාල් හුසේන් එමොන් 37/2)
බංග්ලාදේශ යොවුන් පිල – 215/1 (ඕවර 34.3) සවාඩ් අබ්රාර් නොදැවී 130, අසිසුල් හකිම් නොදැවී 69