“මෙවර පුංචි ඡන්දය ස්ථිර වශයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. එය ඉතාම පැහැදිලියි. අමාරුම ඡන්ද දෙකක් ජයග්‍රහණය කළා. මේ ඡන්දය ගැන සැකයක් තියා ගන්න එපා. මාලිමාව දිනනවා ස්ථිරයි.” යනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා පැවැසීය. නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඉකුත්දා (26) උකුවෙල, දෙමටගොල්ලේ පැවැති ජන හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
“මීට වඩා අමාරු ඡන්ද දෙකකින් අපි දිනුවා. රටේ බහුතරය හිතුවේ කවුද දිනන්නේ කියලා. සමහර අය හිතුවා, රනිල් දිනනවා කියලා. තව කොටසක් කිව්වා, සජිත් දිනනවා කියලා. නමුත් ඔබ අප සියලු දෙනා අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති කළා. අවිනිශ්චිත, අවිශ්වාස වෙලාවේ මහ මැතිවරණය ආවා. ඒ වෙලාවෙත් දෙගිඩියාවක් තිබුණා, කවුරු දිනයිද කියලා. මෙවැනි බලයක් ඉතිහාසයේ කිසිම අවස්ථාවක අරගෙන නෑ.
ඔබ හිතා බලන්න, ගෝඨාභය හදපු තුනෙන් දෙකයි ජන බලවේගය හදපු තුනෙන් දෙකයි අතර තියෙන වෙනස. එනිසා පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරන එක අපට අමාරු නෑ. සැකයක් තියා ගන්න එපා. පළාත් පාලන ආයතන ඉතාම වැදගත්. පාර්ලිමේන්තුව තිබුණාට ජනතාව සමඟ ගැටෙන්නේ පළාත් සභාව. පළාත් පාලන ආයතන ජනතාවට ඉතාම කිට්ටුවෙන් ඉන්න වැඩ කරන ආයතනයක්. පාර්ලිමේන්තුව තීරණ අණපනත් ගන්නවා. ජනතාවට සම්බන්ධ වන්නේ පළාත් පාලන ආයතන. ගමේ වැඩ කරන්නේ මේ ආයතන. අලුතින් හිතන්න දෙයක් නෑ, මාලිමාව දිනවා ගමේ සංවර්ධනයට දායක වෙන්න.”