ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින් පවරා ඇති නඩු 7හි සාක්ෂි විභාගය ජූලි 31 වැනි දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (24) නියෝග කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ සහ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස නියෝග කෙරිණි.
ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 7 පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ කියවා දුන් අවස්ථාවේදී ඇය එම චෝදනාවන්ට නිවැරදිකාරිය බව ප්‍රකාශ කිරීම සැලකිල්ලට ගනිමින් මෙම නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතය.
එම චෝදනා හතට තමන් නිවැරදිකාරිය බවට සැකකාර ගමගේ මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇයව රුපියල් ලක්ෂ 5ක මුදල් හා රුපියල් මිලියන 10ක් වටිනා පෙර නියම කළ ශරීර ඇප දෙකක් මත ඇය මුදා හරින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
2016 වසරේ ජූලි මස 14 වැනි දින සිට 2017 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2018 ජූලි මස 17 දින සිට 2019 ජූලි මස16 දින කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2020 ජූලි මස 16 දින හා 2020 නොවැම්බර් මස 1 කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2020 ජූලි මස 17 වැනි දින සිට 2020 නොවැම්බර් මස පළමුවැනි දින දක්වා කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2014 ජනවාරි මස 20 දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමේ දී ආගමන විගමන පාලකවරයා හට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා හතකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඇයට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර තිබූ චෝදනාවන්ය.
නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා පෙර නඩු දිනයක දී නියෝග කර තිබුණි.
බ්‍රිතාන්‍ය පුරවැසිකමක් හිමි ඩයනා ගමගේ මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙර නඩු දිනයක දී දැනුම් දුන්නේය. මේ වන විට ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදාහැර සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.