‘පළිගන්න හිතන්නවත් එපා: ඔබට වන්දි ගෙවන්න වෙයි’-ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට හැර සෙසු රටවල තීරුබදු දින 90කට අත්හිටුවයි

සිය තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් නොවන ලෙසත්, එය ප්‍රතිවිපාක විඳීමට හේතු වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ චීනයට හැර සෙසු රටවල තීරුබදු දින 90කට අත්හිටුවීමේ තීරණය නිවේදනය කරමින් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රකාශයට පත්වූ දිනයේ සිට මේ දක්වා ලෝක ආර්ථිකයේ අමෙරිකාව හා සම තැන පසුවන චීනය දැඩි ප්‍රතිචාර දක්වමින් සිටින අතර, තවත් රටවල් රැසක් ධවල මන්දිරය සමඟ තීරුබදු සම්බන්ධව සාකච්ඡා කිරීමට ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රටවල් 75කට වැඩි ප්‍රමාණයක් අමෙරිකාව සමඟ නව වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට උත්සාහ කරමින් ධවල මන්දිරයේ නිලධාරින්ට දුරකතන ඇමතුම් ලබා දී ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යජාලයේ සඳහන් කර ඇති බවත්, එම රටවල් කවරේදැයි ප්‍රකාශ කර නැති බවත් වාර්තා වේ.