වැලිකඩ පොලීසියේදී මියගිය තරුණයාගේ සිරුර ගොඩගන්න නියෝග

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී පසුගියදා මියගිය තරුණයාගේ මෘතශරීරය ගොඩ ගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට ඊයේ (9) නියෝග කළේය.

මෙම මරණය සැක සහිත බැවින් ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් යටතේ පශ්චාත් මරණ පරීක්ෂණය නැවත සිදු කරන ලෙස අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

මෙම මරණයට සම්බන්ධව මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා තිබෙන බවත් එහි වාර්තා තවම ලැබී නැති බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු කරුණු දැක්වූහ.

ඊට අදාළ මෝසමක් සහ මරණය සැක සහිත බවට මියගිය තරුණයාගේ මව ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරන ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධ්‍යක්ෂ කීර්තිසිංහ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ,

ස්වාමීනි, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපි සූදානම්, 2025/4/1 වන දින වැලිකඩ පොලිස් භාරයේ සිට අංගොඩ මානසික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය නිමේෂ් සත්සර නමැති මෙම මරණකරුගේ සිද්ධිය සම්බන්ධයෙන් 2024/4/4 දින සිට විමර්ශනය කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වැඩබලන පොලිස්පතිවරයා විසින් අවසර ලබා දී තිබෙන බව අධිකරණයට දන්වනවා, මෙම සිද්ධියට අදාළව සියලුම පැති ඔස්සේ අපි විමර්ශන කටයුතු සිදු කරනවා, මරණයට පත් පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබූ ස්ථානය, වැලිකඩ පොලිස් ස්ථානය, අංගොඩ මානසික රෝහලේ මෙම පුද්ගලයා සිටි ස්ථානය සහ මරණයට පත් මෙම පුද්ගලයාගේ අසාමාන්‍ය හැසිරීම සහ ඔහු ඇසුරු කරපු පුද්ගලයන් ගැන පුළුල් විමර්ශනයක් සිදු කරමින් තිබෙනවා.

යනුවෙනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුගේ මව තම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සැක සහිත බව දිවුරුම් ප්‍රකාශයක් මඟින් ඊයේ දින අධිකරණයට නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරියා සඳහන් කරනු ලැබුවේ,

ස්වාමීනි, අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 125 වගන්තිය යටතේ මෙම මරණය සම්බන්ධයෙන් නැවත විමර්ශනය කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරගන්නවා, පෙර පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාවක් මේ වෙන තෙක් ලැබී නොමැති බව සහ ශරීරයේ විවිධ කොටස් රස පරීක්ෂක වෙත යවා තිබෙන අතර එහි වාර්තාවක් තවමත් ලැබී නොමැති බැවින් විශේෂඥ ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් හමුවේ නැවත පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සම්බන්ධයෙන් අපේ විරෝධතාවක් දක්වන්නේ නැහැ යනුවෙන් සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂ්මන් ඩයස් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන නිරීක්‍ෂයකු ලෙස පෙනී සිටින ලෙස අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු සඳහන් කළහ.

නැවත මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ලබා දීම තුළින් ජනතාව තුළින් ඇතිවන මතගැටුම් නිරාකරණය කර ගැනීමට හැකි බවද අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා සඳහන් කළේය.

මරණකරුගේ මව වැලිකඩ පොලීසියට පැමිණෙන විට තම දරුවාගේ ඇඳුම් කුණු බඳුනේ දමා තිබෙන අයුරු දුටු බවටද ප්‍රකාශ ලබා දී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්විය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂ්මන් ඩයස් මහතා සඳහන් කරනු ලැබුවේ, සැක සහිත මරණයක් සම්බන්ධයෙන් නැවත මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට 373/1 සහ 372/2 වගන්ති ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයෙකුට පුළුල් බලතළ හිමිව තිබෙන බවය.

සිද්ධියට අදාළ මෙම මරණකරුගේ මව ලබා දුන් ස්මාට් වර්ගයේ ජංගම දුරකතනය සහ පොලිස් ස්ථානයේ සිද්ධිය සිදුවූ ස්ථානයේ දක්නට ලැබූ පොල්ලක්ද නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළේය.

තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ ලක්ෂ්මන් ඩයස් මහතා සඳහන් කරනු ලැබුවේ,

ස්වාමීනී, මරණකරු මියයාමට පෙර ඔහුගේ මවට අම්මේ මට පහර දෙනවා යනුවෙන් පවසා ඇති බවත්, මරණ පරීක්ෂකවරයකුට ඕනෑම නියෝගයක් දෙන්න පුළුවන් එම නිසා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පවත්වා නිවැරදි නියෝගයක් ලබා දෙන්න කටයුතු කරන්න.

යනුවෙන්ය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් හමුවේ මරණයට පත් මෙම තැනැත්තාගේ මෘතශරීරය නැවත ගොඩගෙන නැවත මරණ පරීක්ෂණය පවත්වා කඩිනමින් අංගසම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.