ශ්‍රී ලංකා රජය විසින් කළ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ රෝහල්වල ෆියුරොසිමයිඩ් හිඟයට කඩිනම් පිළියමක් ලෙස එම එන්නත් මි.ග්‍රෑ. 20/මි.ලි. 2 කුප්පි 50,000ක් තිළිණ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ඊයේ(13) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම ඖෂධ තොගය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාර දෙන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඉන්දියාව සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍රයන්හි දුෂ්කර සමයන්හි සහ හිඟයන් හිදි ශ්‍රී ලංකාවේ විශ්වාසදායි මිතුරකු සහ පළමුවෙන් ප්‍රතිචාර දක්වන්නකු ලෙස නිරන්තරයෙන් කටයුතු කර ඇත. කොවිඩ්-19 වසංගත සමයේදී ඉන්දියාව විසින් 2020 මැයි මාසයේදී විශේෂ ගුවන් යානයකින් ඖෂධ ටොන් 25කට අධික තොගයක් ශ්‍රී ලංකාවට සපයන ලදී. ඉන්දියාව විසින් 2021 ජනවාරි මාසයේදී කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 500,000ක් ද 2022 පෙබරවාරි මාසයේදී ක්ෂණික ප්‍රතිදේහ කට්ටල ලක්ෂයක් ද ශ්‍රී ලංකාවට තිළිණ කරන ලදී. 2022 පෙබරවාරි මස ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව විසින් 2022 මාර්තු මාසයේදී ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකමක් වසරක කාලයක් සඳහා ලබා දුන් අතර පසුව එය ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත 2024 මාර්තු දක්වා දීර්ඝ කරන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාල රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ හම්බන්තොට මහ රෝහල ඇතුළු රෝහල්වල දැඩි ඖෂධ හිඟයට පිළියමක් ලෙස 2022 අප්‍රේල් – මැයි කාල සීමාවේදී ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් ටොන් 26කට අධික ප්‍රමාණයක් ලබා දෙන ලදී.
සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන සහයෝගීතා මුලපිරීම්හිදි ප්‍රමුඛතාවය හිමිවන අංශයකි. 1990 සුවසැරිය ගිලන්රථ සේවාව, දික්ඔය ඉදිකළ ඇඳන් 150ක බහු විශේෂ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිකළ නව ශල්‍ය ඒකකය සහ යාපනය ශික්ෂණ රෝහල, කිලිනොච්චි සහ මුලතිව් ඇතුළු දිස්ත්‍රික් රෝහල්වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ නවීකරණය මෙන්ම උපකරණ සැපයීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉන්දියාව විසින් ක්‍රියාත්මක කළ සුවිශේෂී ව්‍යාපෘතීන් කිහිපයකි.