වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් ගොනු කළ එම පෙත්සම අභියාචනාධිකරණ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවන ලද අතර එය හෙට (12) සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (10) තීරණය කළේය.
පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි එහි වගඋත්තරකරුවන්ට දීමෙන් පසුව කරුණු තහවුරු කිරීමට පෙත්සම කැඳවීමට එහිදී නියම කෙරිණ.
එහිදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ “ඩබ්ලිව් ෆිෆ්ටීන්” නම් හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා නියෝගයක් නිකුත් කර ඇති බවය.
එම වෙඩි තැබීමේ සිදු වීමෙන් අනතුරුව පොලිස් නිලධාරියකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සාක්ෂි කිහිපයක් මත මාතර මහේස්ත්‍රාත්වරයා විසින් පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය. මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව මහේස්ත්රාත්වරයාට බලයක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන්ට කිසිදු උපදෙසක් ලැබී නැති බවය. පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අත්‍යාසන්න තත්ත්වයක් ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.
මෙම නඩුකරයට අදාළ නඩු ගොනුව උදෑසන තමන්ට ලැබණු බවත් එහි අන්තර්ගතය කවරේද යන්න නොදන්නා බවත් අභියාචනාධිකරණ වැඩබලන විනිසුරුවරයා එහිදී සඳහන් කළේය.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි ලබා දීමෙන් පසුව මේ පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කරන ලෙස ඔහු ජනාධිපති නීතිඥවරයාට දන්වා සිටියේය.
එහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා “ස්වාමීනී… අඩුම ගානේ මගේ සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට වගඋත්තරකාර පාර්ශ්වය විසින් පොරොන්දුවක්වත් ලබා දිය යුතුයි.” යනුවෙන් කියා සිටියේය.
“පෙත්සම්කරු සතියක් විතර කරදරයක් නැතුව හිටියනේ. ඉදිරියටත් එසේ හිඳීවි” යනුවෙන් අභියාචනාධිකරණ වැඩබලන විනිසුරුවරයා එහිදී ප්‍රකාශ කළේය.
පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි දීමෙන් අනතුරුව එය කරුණු තහවුරු කිරීමට ලබන 12 වනදා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල එහිදී නියම කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි වත්මන් අධ්‍යක්ෂ පී. අම්පාවිල ඇතුළු දහ හතරදෙනෙක් නම් කර සිටිති.