සෑම සමාජ ස්තරයකටම හොඳ මනුෂ්‍ය ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව හිමිකර දිය යුතුයි-නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස ඇමැති අනුර කරුණාතිලක

ආර්ථික, සමාජ සංවර්ධනයට සමගාමීව සෑම සමාජ ස්තරයකටම වඩා හොඳ මනුෂ්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව හිමිකර දිය යුතුව ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස ඇමැති අනුර කරුණාතිලක මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ පසුගිය දා (28) නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී ජනකොටස් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියට සමගාමීව ඊට අදාළ පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනට එක්වෙමිනි.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍ය පහසුකම් සහිතව කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමට ඇරඹි මෙම ව්‍යාපෘතිය මඟින් කොළඹ නගරයේ තෝරා ගත් ස්ථාන හයක (6) මහල් නිවාස සංකීර්ණවල නිවාස ඒකක 4074 ක් ඉදි කෙරෙමින් පවතියි.

අවම පහසුකම් සහිත කොළඹ නගරයේ හඳුනාගත් ජනාවාස පහළොවක ප්‍රජාව මෙම ව්‍යාපෘතිය මඟින් ඉදිකරන ලද මහල් නිවාස සංකීර්ණවල සියලු යටිතල පහසුකම් සහ අනෙකුත් ප්‍රතිලාභ සමඟ නැවත පදිංචි කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

කොළඹ නාගරික පුනර්ජීවන වැඩසටහන මඟින් සිදුවෙන්නේ කොළඹ සිටින අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සැපිරීම පමණක් නෙවෙයි. ජීවත් වීමට සුදුසු නිවෙසක් ලබාඳීමත් සමඟ ඔවුන් සමාජය සජීවීකරණය කිරීමත් මෙයින් සිදුවෙනවා. ලෝකය සංවර්ධනය වෙනකොට ඕනෙම රටක ආර්ථික, සමාජ සංවර්ධනයක් සිදුවෙනවා. ඒ සමඟ ඉදිරියට යන්න අසමත් වන, අවධානයට ලක් නොවන කණ්ඩායමක් අප අතර සිටිනවා. හැබැයි, දියුණු සමාජයක් කියන්නේ අනෙකා පිළිබඳ හිතන සමාජයක්. ඒ විදිහට ඔවුන් ගැන අවධානය යොමු කරලා, ඔවුන්ටත් මේ සමාජයේම කොටසක් ලෙස මනුෂ්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව මේ ව්‍යාපෘතිය මඟින් ලබා දෙනවා.

අපේ රටේ නිවාස අවශ්‍යතාව සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා කාලෙන් කාලෙට සමීක්ෂණ සිදුකරනවා. වාර්ෂිකව 10%කින් පමණ නිවාස අවශ්‍යතාව වැඩි වෙනවා වුනත්, සංඛ්‍යා ලේඛන දෙස බලපුවම ඒ අවශ්‍යතාව සපුරන්න පුළුවන් වෙලා තියෙන්නේ සියයට 7.4ට ආසන්න ප්‍රමාණයක්. කොළඹ නගරය තුළ නිවාස අවශ්‍යතාව ශීඝ්‍රයෙන් වැඩි වුණත් අවශ්‍යතාව සැපිරීම තියෙන්නේ අවම මට්ටමක. මෙවැනි ව්‍යාපෘති තුළින් දෙන්නේ නි‍ෙවසක් විතරක් නෙවෙයි. අලුත් ජීවිතයකුත් ලැබෙනවා. ස්ථිර නැති තැනක ඉන්න කෙනෙකුට තට්ටු නිවාසයක් ලබා දෙන කොට කෙලින් තිබුණට වඩා වැඩි භෞතික පහසුකම් ටිකක් ලැබුණත් ඔහු වසර ගණනාවක් ජීවත් වුණු අසල්වැසියන්ගෙන්, පරිසරයෙන්, රැකියාවෙන්, ජීවන රටාවෙන් දුරස් වීමක් සිදුවෙනවා. පුරුදු ආදායම් මාර්ගය අහිමි වුණොත් හොඳ නි‍ෙවසක් ලබාදීමෙන් පලක් නැති වෙනවා. ඔහුව ජීවන තත්ත්වයෙන් පහළට දැම්මා වෙන්න පුළුවන්. මේ ව්‍යාපෘතිය තුළින් නි‍ෙවසක් ලබාදෙනවා වගේම එවැනි දේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා තියෙනවා.

විවිධ ප්‍රදේශවල, විවිධ සමාජ වෙනස්කම් සහිතව, විවිධ සමාජ ස්ථාරවල, විවිධ වෘත්තීන්වල, විවිධ සිතුම් පැතුම් තියෙන කණ්ඩායමක් එක තැනකට ගොනු කරලා මහල් නිවාස ව්‍යාපෘතියකට එකතු කළාට පස්සේ අනිවාර්යෙන්ම ඒ සමඟ සමාජ ප්‍රශ්න ගණනාවක් ඇතිවෙනවා. මේ ව්‍යාපෘතියෙන් සමාජ සජීවීකරණය සඳහා වූ අලුත් පරිසරයට අනුගත කිරීම හරහා බලාපොරොත්තු වුණ හොඳ ජීවිතය අර්ථවත්ව ගත කිරීම සඳහා ඔවුන්ට අවස්ථාවක් හදලා දෙනවා.

2027 වසරේ මේ ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම තුළින් රාජකාරිමය වශයෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරා කියන හැඟීමට අමතරව, සමාජය වෙනුවෙන්, අවධානයට ලක්විය යුතු කණ්ඩායමක් වෙනුවෙන්, තමන්ගේ යුතුකම සහ වගකීම ඉෂ්ට කළා කියන තෘප්තියත් සමඟ අපට ඉදිරියට යන්න පුළුවන්.

නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා –

අපේ ජනතාව එක් ජාතියක් ගොඩනඟන්නත් ඒ ජාතිය මත පදනම් වෙච්ච සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි සමාජයක් බවට පරිවර්තනය කරන්නත් අවශ්‍යයි. ලංකාවේ විවෘත ආර්ථිකය පටන් ගන්න කොට ඒ වේලාවෙ විය යුතු සැබෑ වෙනස්කම් සිද්ධ වුණේ නැහැ. විවෘත ආර්ථිකයත් සමඟ අපේ රටේ ධනයෙන් වඩා වැඩි ප්‍රමාණයක් ඉහළ ධනපති පවුල්වලට හිමිවෙනවා. පහළ පවුල් සියයට 27කට ම ලැබෙන්නේ කුඩා කොටසයි.

මේකෙන් සමාජය සමාජ ස්තරයන්ට බෙදිලා වෛර කරනවා. එය ඔවුන්ගේ වරදක් නොවෙයි. මාකඳුරේ මදුෂ්ලා, සමයන්ලා, කඩුවෙල වසන්තලාගේ ජීවිත එතනට පරිවර්තනය වෙන්න බලපාපු සුවිශේෂී කරුණු මේ තුළ තියෙනවා. ඒ අපේ රටේ ආර්ථිකය සාධාරණව ගලායාම සිදු නොවීමයි. සමාජ අවශ්‍යතාවයන් සාධාරණව ගලාගෙන ගියේ නෑ. අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න, ප්‍රදේශයේ ආගමික නායකයින්, දේශපාලන නායකයින්, ග්‍රාම නිලධාරීන්, ආරක්‍ෂක අංශ නියෝජිතයන්, සමාජ ආයතන, පරිසර බැංකු හා වෘත්තීය පුහුණු ආයතනවල නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්වූහ.

රන්මලී සෝමසිරි