2025 පක්ෂ පිළිගන්න නාම යෝජනා කැඳවයි

2025 වසරේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරි පක්ෂවලින් අද (28) සිට මාර්තු 28 දා දක්වා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනතප්‍රකාරව පිළියෙල කළ අයදුම්පතක් ලියාපදිංචි තැපෑලෙන් හෝ අදාළ පක්ෂයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත භාර දීම සිදු කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පවසයි.

අයදුම්පතක් යොමු කිරීමේදී ලිපි කවරයේ ඉහළ වම්පස “දේශපාලන පක්ෂ පිළිගැනීම වෙනුවෙන් අයදුම්පත්‍රය – 2025” ලෙස සඳහන් කර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව ද එම නිවේදනයේ දක්වා ඇත.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය වන මාර්තු මස 28න් පසුව ලැබෙන අයදුම් සලකා නොලබන බවත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගැනීමට එම පක්ෂයේ ලේකම්වරයා අත්සන් කළ යුතු බවත් එම නිවේදනයේ දක්වා තිබේ.

අයදුම්පත් මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බවත් එහි දක්වා ඇත. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.