එ.ජා. මානව හිමිකම් කාර්යාලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ ද බැරෑරුම් ලෙස සැලකිය යුතු බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

කොළඹ සිය කාර්යාලයේදී තරුණ නීතිඥ කණ්ඩායමක් ඊයේ (26) හමු වූ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ඒ මහතා එහිදී මෙසේ ද කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමක් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බැවින් ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් මේ කාරණය දැන්ම සැලකිල්ලට ගත යුතුයි. රුසියාව සමඟ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය උත්සාහ කිරීමත් සමඟ ගෝලීය දේශපාලනය වෙනස් වී තිබෙනවා. රුසියාව ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපකිරීම් කළා. බොහෝ යුරෝපීය ජාතීන් ජනාධිපති Volodymyr Zelenskyy සම්බන්ධයෙන් නිහඬව සිටිනවා. ඔවුන් ජනාධිපතිවරණයක් නොපවැත්වීම ගැන ද නිහඬව සිටිනවා. එම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යුද නීතිය ක්‍රියාත්මක වන විට මහමැතිවරණය කල් දැමීමට ප්‍රතිපාදන සලසා තිබෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණය ගැන කිසිවක් සඳහන් වෙන්නේ නැහැ.

ශ්‍රී ලංකාව නියමිත වේලාවට මැතිවරණ පවත්වා තිබෙනවා. අපි 2024 මැතිවරණය පැවැත්වුවා. දැනට බලයේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ රජය. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ ජයග්‍රහණය කළා පමණක් නොව ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන අතර ඔවුන් ශ්‍රී ලංකාවට සලකන්නේ වෙනස් ආකාරයකටයි. විශේෂයෙන්ම මේ වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන ඒමට නියමිත බැවින් වත්මන් රජය සහ අප සියලු දෙනාම මෙම තත්ත්වය සැලකිල්ලට ගත යුතු බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

ශිරෝමි අබයසිංහ සහ ආරියරත්න ගනේගොඩ