දකුණු කොරියාවේ E- 8 වීසා කාණ්ඩයේ රැකියා‍ රජයෙන් පමණයි-විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

එම වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබා දෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.

වෙනත් කිසිඳු පුද්ගලයකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබා නොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වළකින මෙන්ද සභාපතිවරයා ඉල්ලීමක් කරයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ, දකුණු කොරියාවේ E-9 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා, “දකුණු කොරියාවේ රැකියාවලට අලුතින්ම එකතුවුණු වීසා කාණ්ඩය තමයි E-8 වීසා කාණ්ඩය. හැබැයි අපි හැමෝටම ඒ වීසා කාණ්ඩය විවෘත කරන්නේ නෑ. නිසි කෘෂිකාර්මික දැනුමක් තියෙන සුදුසුකම්ලත් පුද්ගලයින් විතරයි අපි රැකියාවට යොමුකරන්නේ. ඒකෙදි E-8 වීසා කාණ්ඩයට අයත් රැකියා සඳහා තරුණයින් තෝරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණයි.

ඒකෙදි බාහිර පුද්ගලයින්ට හෝ වෙනත් විදේශ රැකියා ආයතනවලට මුදල් අයකරන්න කිසිම අවසරයක් ලබාදෙන්නේ නෑ. එම රැකියා සඳහා පුද්ගලයින් යොමුකරන්නෙත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණයි. ඒ නිසා අතරමැදියන්ට කිසිසේත්ම අහුවෙන්න එපා. කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා. අපි බලාපොරොත්තු වෙනවා වෙනත් කොරියානු රැකියා වගේ අවම මුදලකින් රැකියාවට යොමුවෙන්න අවස්ථාව ලබාදෙන්න. පුද්ගලික කණ්ඩායම්වලට අවස්ථාව ලබාදුන්නොත් ඔවුන් විශාල වශයෙන් මුදල් අයකරනවා. පසුගිය කාලසීමාවේ දී වුණ අකටයුතුකම් හා මුදල් එකතු කිරීම් නිසා අපිට මේක නතර කරන්න සිද්ධ වුණා.

නමුත් නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් අපි එම රැකියා යළි සක්‍රිය කරන්න කටයුතු කරනවා. ඉතා ඉක්මණින් කෙටි කාලයක් තුළ ලංකාවේ තරුණයින්ට මෙම රැකියා අවස්ථා ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගිහින් මුදල් හම්බ කරන්නෙත් අපේ රටේ දරුවන්. තමන්ගේ පවුලේ ඥාතීන් එක්ක හොඳින් ජීවිතය ගතකරන්න තමයි ඔවුන් යන්නේ. ඒ නිසා ඒ ක්ෂේත්‍රය රැකගන්නත් අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඉදිරියේ දී මෙම රැකියා සඳහා බඳවාගැනීම් සිදු කිරීමට අවශ්‍යකරන මාර්ගෝපදේශ සකස් කරනවා. ඒ අනුව ශ්‍රමිකයින් බඳවාගන්නා ක්‍රමවේදය හා අවශ්‍ය කරන මූලික සුදුසුකම් පිළිබඳව මාධ්‍ය ඔස්සේ රැකියා අපේක්ෂිතන් දැනුම්වත් කිරීමට කටයුතු කරනවා යැයි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහින්ද අලුත්ගෙදර