ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, එක්ව ඉදිරියට යෑම සවිමත් කිරීමට ‘Sri Lankan Day’ සමරමු-ජනාධිපති අනුර දිසානායක

ජාති, ආගම් භේදවලින් තොරව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, එක්ව ඉදිරියට යන ගමන වඩා සවිමත් කිරීම වෙනුවෙන් ‘Sri Lankan Day’ සැමරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර පැවැති හමුවේදී සඳහන් කළේය.

නව රජයේ වැඩපිළිවෙළට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහාය ලබාදෙන බව සෙවරින් ෂපාස් මහත්මිය මෙහිදී සඳහන් කළාය.

මෙම හමුව ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

අතුරුදන් වූවන්ගේ කාර්යාලයට අදාළ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, ධාරිතා සංවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ එකඟතාව පළ කෙරිණි.

අතුරුදන් වූ පුද්ගලයන් සෙවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සඳහා මෙවර අය-වැයෙන් මුදල් වෙන්කර ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය 1989 සිට ශ්‍රී ලංකාවේ සිදු කරන මානුෂීය මෙහෙයුම් මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය ස්තුතිය පළ කර සිටියේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සන්නිවේදන කළමනාකරු රුවන්ති ජයසුන්දර මෙණෙවිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න