සෞඛ්‍ය සේවාවේ සියලු අංශ ඇතුළත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බවත් ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
ආයුර්වේද වෛද්‍ය සේවා පනතක් ස්ථාපිත කිරීම, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය වෛද්‍ය ක්‍රමය විධිමත්ව ස්ථාපිත කිරීම, ආයුර්වේද පනත හා ආයුර්වේද සංග්‍රහය නව සංශෝධනයකට ලක් කිරීම, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම, රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට රැකියා දීම, සෞඛ්‍ය චක්‍රලේඛවලට අදාළව හිමි දීමනා ගැනීම, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය යථාවත් කිරීම ඇතුළු රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් කිහිපයක් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මෙරට සෞඛ්‍ය සේවාව තුළ ජනතාවට සේවා සැපයීමේ දී බටහිර වෛද්‍ය සේවාව මෙන්ම දේශීය සහ ආයුර්වේද වෛද්‍ය සේවාවෙන් ද ඉමහත් සේවාවක් ලබා දෙනවා. ආයුර්වේද පනත සහ ආයුර්වේද සංග්‍රහය නව සංශෝධනයකට ලක් කිරීමට විධිමත් කමිටුවක් පත් කිරීම වැදගත්. මෙහිදී ගැටලු අවම කර ගනිමින් කටයුතු කිරීමට යන්ත්‍රණයක් සකස් කිරීම සහ සංවිධාන ව්‍යුහය යථාවත් කරගැනීමත් වැදගත්. මෙහිදී රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් අතරින් කඩිනමින් විසඳුම් දිය හැකි ඉල්ලීම් සඳහා විසඳුම් දීමට ද පියවර ගන්නවා.”
මේ වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් දීමට ආයුර්වේද කොමසාරිස්, ආචාර්ය, වෛද්‍ය ධම්මික ගුණවර්ධන මහතා ඇතුළු ආයුර්වේද දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා ද විමසා බැලීය.
මේ අවස්ථාවට රජයේ අයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජී. හේවාගමගේ සහ ලේකම් වෛද්‍ය එස්.ඩී. අජිත් උපශාන්ත මහත්වරුන්, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.
හෂිණි නවෝද්‍යා