කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මිද්දෙණියේ සිදු වූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කාර්යක්ෂමව සහ දේශපාලන මැදිහත්වීමෙන් තොරව සිදු කරන බවත්, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට රජය මැදිහත් වන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ මේ සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මෙම සිදුවීම් දෙක හේතුවෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් සිදුව නෑ. විපක්ෂය විසින් අනියත බියක් සමාජගත කිරීමට උත්සාහ දරමින් සිටිනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා. අධිකරණ පරිශ්‍රයේ සිදු වූ ඝාතනයේදී පැය අටක් ගතවීමටත් පෙර වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. අධිකරණ පරිශ්‍රයේ සිදුවීමට මෙන්ම මිද්දෙණිය සිදුවීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ගැන තොරුතුරු ලැබී තිබෙනවා. අදාළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.
යම් ඝාතනයක් හෝ වෙනත් කවර සිදුවීමක් හෝ සිදු වුවහොත් ඒවා සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අදාළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒත් පසුගිය පාලන සමයන්වලදී සිදු වූ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවා සිදු නොවූ තත්ත්වයක් දක්නට ලැබුණා.
මිද්දෙණියේදී සිදු වූ අරුණ ප්‍රියන්ත සහ ඔහුගේ දරුවන් දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එම ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවන් ප්‍රසාද් කුමාර, ප්‍රභාත් තුෂාර සහ පොලිස් කොස්තාපල් (82493) අයි. එල්. ජනක කුමාර යන තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ ඝාතන පදනම් කරගනිමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ මතවාද සමාජගත කිරීමට උත්සාහ දරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතුයි. මේ සිදුවීම් දෙක පදනම් කර ගනිමින් ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බව පෙන්වන්නට විපක්ෂය උත්සාහ කරනවා. මීට අනුගතව විනිසුරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා, ආරක්ෂාව අඩු කර තිබෙනවා වැනි කරුණුත් මතු කරන්නට ඒ අය උත්සාහ කළා. මේ සභාව තුළත් අදහස් ඉදිරිපත් කළා.
පසුගිය 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විපක්ෂය මතු කරන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දිය යුතුයි. මුලින්ම මම කිව යුතුයි, මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් රජයක් ලෙස අපි කනගාටුව ප්‍රකාශ කරනවා. ඒත් මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි විමර්ශන සිදු කර ඝාතනය සිදුව පැය අටක් ගතවීමටත් පෙර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී පොලීසියේ කැපවීම, දක්ෂතාව අගය කළ යුතුයි. අපේ රටේ පසුගිය කාලයේ සිදු වූ සමහර අපරාධ ගැන තවමත් විමර්ශන සිදු කර නෑ. ඒ වගේම කිසිවෙක් අත්අඩංගුවට නොගත් සිදුවීම්ද තිබෙනවා. බොහෝ දේවල් දේශපාලන සම්බන්ධතා මත සිදු වූ බව අපි කවුරුත් දන්නවා. පොලීසියේ දක්ෂ නිලධාරීන්ට විමර්ශන සඳහා අවශ්‍ය නිදහස අපි දී තිබෙනවා. මේ විමර්ශන ඉතා කාර්යක්ෂමව සිදු වෙනවා.
මේ සිදුවීම පදනම් කර ගනිමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බොරු බිල්ලෙක් මවන්නට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් උත්සාහ කරමින් සිටිනවා. ඉතිහාසය පුරාවටම කළ දෙයක් තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජයේ කැලඹීම් ඇති කළ එක. මේ අධිකරණය ඇතුළේ සිදු වූ පළමු වෙඩි තැබීම නොවෙයි. එහෙමයි කියලා මේ සිදුවීම ලඝු කරන්න සූදානම් නෑ. මේ සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර තිබෙනවා. පසුගිය දශක දෙක තුනක කාලයේ පාතාලය නිර්මාණය වූ විදිහ අපි දන්නවා. පසුගිය කාලයේ පාතාල කල්ලිවලට දේශපාලන අනුග්‍රහය දී තිබුණා. මේ පාතාලය සමඟ මත්ද්‍රව්‍ය, විවිධ හොරකම්, මැරකම් සම්බන්ධයි. මේ සියලු දේවල් පසුපස දේශපාලනයත් තිබුණා. පසුගිය කාලයේ සිදු වූ විවිධ වෙඩි තැබීම් ආදිය පාතාල කල්ලි අතර සිදු වූ ගැටුම්. එම ගැටුම් අතර පාතාලයේ නම් දැරූ පිරිස් සිටිනවා. එම ඝාතන අපි කිසිසේත් සාධරණීකරණය කරන්නේ නෑ. නමුත් එම ඝාතන අතර මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා විශාල ප්‍රමාණයක් තිබෙන පුද්ගලයන් ද සිටිනවා.
මනුෂ්‍ය ඝාතන සිදු කළ පිරිස් පසුගිය කාලයේ බිහිවුණේ කොහොමද කියන කාරණයයි මම මේ මතු කරන්නේ. මෙවැනි පිරිස් බිහිවුණේ දැන් විපක්ෂයේ සිටින ඒ කාලයේ ආණ්ඩු කළ අයගේ අනුග්‍රහයෙන්. ඒ අය දැන් විශාල ඝෝෂාවක් කරන්න පටන් අරන් තිබෙනවා. පසුගිය සමයේ සිදු වූ පාතාල ක්‍රියාකාරකම් අපට මතකයි. සමහර ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් ඝාතනය වුණා. අතුරුදන් වුණා. සමහර අයගේ අතපය කඩලා දැම්මා. දැන් විපක්ෂයේ සිට ජාතික ආරක්ෂාව ගැන
කෑගහන අය ඒ කිසිවක් වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් සිදු කළේ නෑ. ඒ අයගේ වකවානුවල තමයි, ලංකා ඉතිහාසයේ කළු පැල්ලම් ඇති වුණේ. අද වෙන තෙක් ඒ වින්දිතයන්ට යුක්තිය ඉටුවී නෑ. ඒ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන බව මේ සභාවට කියන්න කැමතියි. නමුත් අපි බලයට පත්වුණාට පසුව පාතාලයට තිබූ දේශපාලන රැකවරණ ඉවත් කර තිබෙනවා. අපේ ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් කිසිවෙක් පාතාල කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පවත්වන්නේ නෑ. පාතාල සාමාජිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන්න පොලීසියට ඉඩදී තිබෙනවා. පොලීසියට කිසිම දේශපාලන බලපෑමක් නෑ. පරීක්ෂණ දේශපාලනීකරණයෙන් තොරව සිදු වෙනවා.
විනිසුරුතුමන්ලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න මතු කළා. මේ සභාවට කිව යුතුයි, පොලිස්පතිවරයා නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරවයි විනිසුරුතුමන්ලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඒ අයගේ ආරක්ෂාවේ කිසිදු වෙනසක් සිදු කර නෑ. ඒ ආකාරයෙන්ම දී තිබෙනවා. ඒ අනුව මහේස්ත්‍රාත්, අතිරේක මහේස්ත්‍රාත්, දිසා විනිසුරු, අධිකරණ කොමිෂන් සභාවේ ලේකම්වරයා, නියෝජ්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, මහාධිකරණ විනිසුරුවන්, පළාත්බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවන්, වාණිජ මහාධිකරණ විනිසුරුවන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඇතුළු මේ සියලු දෙනාට පෙර පැවැති ආරක්ෂාව එලෙසම පවත්වාගෙන යනවා. මෙය 2011 වසරේ නිකුත් කළ චක්‍රලේඛයක් අනුව සිදුවන්නක්. කිසිම විනිසුරුවරයකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව නෑ.පොලිස්පතිවරයා පසුගිය දිනෙක මේ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධාරියෙක් පත්කර තිබෙනවා. යම් ගැටලුවක් තිබෙනවා නම් සම්බන්ධීකරණයටත් පියවර අරන් තිබෙනවා. විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ සභාවේ මතු කළ කරුණු සත්‍යයෙන් තොරයි.
අපි කිසිදු භේදයකින් තොරව අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. අධිකරණ සංකීර්ණයේ අපරාධයෙන් පසුව වෙඩික්කරු පික්මි කුලී රථයක නැඟී ගමන් කර තිබෙනවා. පසුව කඩොල් කැලේ හන්දිය අසලට ගොස් නිල් පැහැති ත්‍රිරෝද රථයක නැඟී කුච්චිකඩේ රිදීවැල්ල මාර්ගයේ රැඳී සිට අපරාධය සිදු කරන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම පාළු ස්ථානයකට විසි කර තිබියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු රැඳී සිටි ස්ථානයට අපරාධයට සහාය දුන් තරුණිය වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණයවී තිබෙනවා. ඒ අනුව විමර්ශන සිදු කරනවා. මේ වෙඩික්කරු 2019 දෙසැම්බර් මස 12 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන කමාන්ඩෝ රෙජිමේන්තුවට බැඳී සාමාන්‍ය සෙබළ 558189 අංකය යටතේ රාජකාරි කර පොදු සමාව යටතේ ඉවත්ව ඇති බව සඳහන් වෙනවා. මේ කරුණු තහවුරු කරගැනීමට පනාගොඩ කඳවුරේ වැටුප් සහ ලේඛන අංශය වෙත යොමු කර තිබෙනවා. අත්අඩංගුවට ගත් වෑන් රථයේ තිබී වාහනයේ සේවා කිරීමට අදාළ බිල්පතක් හමුවී තිබෙනවා. බිල්පතේ සඳහන් කරුණු අනුව වාහනයේ හිමිකාරීත්වය තහවුරු කරගැනීම සඳහා විමර්ශන සිදු කරනවා.
ඒ අනුව පොලිස් භාරයට ගත් වෑන් රථයේ එන්ජින් සහ චැසි අංකවලට අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කිරීමේදී වෑන් රථයෙන් හමු වූ අංකය හා ගැළපෙනවා. නමුත් වෑන් රථයේ සවි කර තිබූ වාහන අංකය ව්‍යාජ එකක් බව අනාවරණය වී තිබෙනවා. අපරාධය සිදු කිරීමට පෙර අපරාධය කළ සැකකරු සහ තරුණිය ලැගුම්ගෙන සිටි කඩුවෙල හෝටලයක් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරනවා. එම ස්ථානයට ගිය නිලධාරීන් ඇඟිලි සලකුණු සටහන් කරගෙන තිබෙනවා. ලැගුම්හලේ සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමේදී සැකකාරිය අපරාධය සිදු කළ ස්ථානයට ගෙන ඒමට භාවිත කළ හොන්ඩා ෆිට් වර්ගයේ කාර් රථය නඩු භාණ්ඩයක් ලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා. එහි ලියාපදිංචි අංකය සහ වාහනයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් තහවුරු කරගැනීමටත් විමර්ශන සිදු කරනවා. අපරාධයට පෙර දින එම මෝටර් රථයෙන් පැමිණි අයකු එම ලැගුම්හලේ සිටි මේ සැකකරුට සහ සැකකාරියට පාර්සලයක් දී තිබෙනවා. එම අපරාධයට භාවිත කළ ගිනි අවිය සහ අපරාධය සිදු කිරීම වෙනුවෙන් ඇඳ සිටි නීතිඥ ඇඳුමට සමාන ඇඳුම ද එහි අඩංගු වී තිබී ඇති බව සැකකරුගෙන් අනාවරණය කරගෙන තිබෙනවා. අපරාධය සිදු වන අවස්ථාවේදී අංක පහ අධිකරණයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්, අධිකරණ කටයුතු කරන නිලධාරීන්, අධිකරණ නිලධාරින්, නීතිඥයන් සහ රාජකාරි සඳහා යොදවා තිබූ පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනකුගේ සාක්ෂි සටහන් කර ගත යුතුව තිබෙනවා.
පසුගිය දිනයේදී ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අවධාරණය කළ පරිදිම මේවා වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව පැහැදිලියි. විශේෂයෙන්ම පොලීසිය. මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස මේ සම්බන්ධයෙන් මම දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ තීන්දු තීරණ අරන් තිබෙනවා. කිසිම ආකාරයකින් ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව නෑ. තැන තැන සිදු වන සංවිධානාත්මක කල්ලිවල අපරාධ ලෙස මේ සිදුවීම් අපි හඳුනාගෙන තිබෙනවා. මේවා මර්දනය වෙනුවෙන් ගත හැකි උපරිම පියවර මේ ආණ්ඩුව ගන්නවා. බොහෝ ක්‍රියාමාර්ග අරන් තිබෙනවා.”