මීනගයා අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි අලි පැටවාත් මියයයි

කවුඩුල්ල රක්ෂිතයේ සිට  මඩකලපුව කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි 07 දෙනෙකුගෙන් යුත් වන අලි රංචුවක් මීනගයා දුම්රියේ ගැටී අනතුරකට පත්වී තිබුණේ පසුගිය 20 වැනිදා රාත්‍රියේය.

ඉන් වන අලි 06 දෙනකු එදිනම ජීවිතක්ෂයට පත්වුණු අතර  බරපතළ තත්ත්වයෙන් තුවාල ලබා  සිටි වයස අවුරුදු 3ක් තරම් අලි පැටවා කොන්දට ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් දින දෙකක් තිස්සේ ප්‍රතිකාර ගනිමින් සිටියදී පෙරේදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වී ඇත.

පශු වෛද්‍ය නිලධාරීන් ද අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වුනු බව වාර්තා වේ.

දුම්රිය අනතුරට පත්වූ සියලුම වන අලි    ජීවිතක්ෂයට පත්වීම අලි- මිනිස් ගැටුමට සාපේක්ෂව  අලි – දුම්රිය ගැටුම ද මෙසේ ඉහළ යෑම වන අලි සම්පතට ප්‍රබල තර්ජනයක් වී ඇති බවට සාධකයකි.

නාමලී ගමගේ