ගණේමුල්ල සංජීව ඝාතනයේ ඩුබායි සැලසුමේ දේශීය නියෝජිතවරිය සෙව්වන්දි ද?

– තොරතුරු රැසක් හෙළිවෙයි
– ඝාතනයේ මහමොළකරු කෙහෙල්බද්දර පද්මේගේ සමීප හිතවතියක්
– සෙව්වන්දිට කෝල් කරපු මීගමුවේ උසාවි සාජන් අල්ලයි

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ශාලාවේ මහේස්ත්‍රාත්වරයා නඩු විභාග කටයුතුවල නිරතව සිටියදී විත්තිකූඩුවේ සිටි මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම පාතාලයේ ප්‍රබල අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් මාකිලංගමුවේ සංජීවට (ගණේමුල්ලේ සංජීව) වෙඩි තබා ඝාතනය කිරීමේ ඩුබායි සැලසුමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ මේ වන විට පලා ගොස් සැඟව සිටින නීතිඥ වෙස්ගෙන අධිකරණ පරිශ්‍රයට ගිනි අවිය රැගෙන ගිය කාන්තාව බවට තොරතුරු රැසක් විමර්ශනයේදී හෙළි වී තිබේ.

පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති ඇය 25 හැවිරිදි වියැති තැනැත්තියකි. මීගමුව පාර, ජයමාවත, කටුවැල්ලේගම පදිංචිකාරියක වන ඇය මේ ඝාතනයේ කොන්ත්‍රාත්කරු මෙන්ම මහමොළකරු ලෙස සැලකෙන ඩුබායිහි මේ වන විට රැඳී සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාලයේ අපරාධකරු සමඟ ඉතා සමීපව සම්බන්ධකම් පවත්වන තැනැත්තියක් බව පෙනී ගොස් තිබේ. මේ කාන්තාවගේ පවුලේ උදවියගේ ඉතිහාසය පිරිස්සීමේදී ඔවුන් නීති විරෝධි මත්පැන් ජාවාරමේ නිරතව සිට ඇති බවත් පසු කාලයේ ඔවුන් මත්කුඩු ජාවාරම්කරුවන් බවට පත්ව ඇති බවත්ය. ඇය ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ පුද්ගලයකු සමඟ කළ මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටියදී දෙදෙනාම පොලීසියට හසුවී බන්ධනාගාරගතව සිට ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඇය විසින් මත්කුඩු බෙදාහැරීම මෙන්ම මත්කුඩු ජාවාරමට ප්‍රධාන ජාවාරම් සමඟ සම්බන්ධකම් පවත්වමින් එක්ව සිට ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මේ ප්‍රහාරයට දින තුනකට පමණ පෙර ඇය විශාල ගමන් මල්ලක් ද රැගෙන නි‍ෙවසින් පිටව ගොස් ඇති බවත් ඇය එසේ නි‍ෙවසින් පිටව ගොස් ඇත්තේ විදේශ ගත වන බව පවසමින් බවටත් තොරතුරු අනාවරණය වී තිබේ. අධිකරණ ප්‍රහාරයෙන් පසු ඇය ඩුබායි වෙත ගෙන්වා ගැනීමට කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම සැලසුම් කර ඇති බවත් වෙඩි ප්‍රහාරය එල්ල වී පැයක් ගතවන්නට මත්තෙන් ඇයවත් වෙඩික්කරුවත් පැහැදිලිවම නම්වලින්ම හඳුනා ගැනීමට පොලීසිය සමත්වීම හේතුවෙන් ඇයට රටින් පැන යෑමට ඉඩක් ලැබී නැති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

සංජීවගේ ඝාතනය කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලයේ ප්‍රබලයන් කීහිප දෙනෙකු ඩුබායි සිට සැලසුම් කර ඇති අතර එම සැලසුමේ දේශීය නියෝජිතවරිය ලෙස ඇය කටයුතු කර ඇත්තේ අධිකරණයේ ඔහුට මේ වෙඩි තැබීමට අවශ්‍ය පහසුකම් සපයා දෙමිනි. මේ කාන්තාව අධිකරණයේ නීතිඥවරුන් රැඳී සිටින ස්ථානයට පවා ගොස් ඇති බවටත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටු කපා එහි බහා සඟවාගෙන අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ රිවෝල්වරය පවා වෙඩික්කරුට ලබාදී ඇත්තේ ඇය විසින් බවත් සංජීවගේ නඩුව විභාග වන අධිකරණ ශාලාව ගැන පවා වෙඩික්කරුව දැනුම්වත් කර ඇත්තේ ඇය විසින් බවටත් තොරතුරු මේ වන විට අනාවරණය වී ඇත.

නීතිඥවරයෙක් ලෙස පෙනී සිටිමින් සංජීවගේ නඩුව විභාගයට ගන්නා අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව වෙත වෙඩික්කරු ගොස් නීතිඥවරුන් අසුන් ගන්නා මේසය අසල ඇති පුටුවකද රැඳී සිටිමින් සංජීවට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කල්යල් බලාය. වැඩි කලබලයකින් තොරව ඉලක්කය නිසි ලෙස ලබාගැනීමෙන් අනතුරුව ඔහු පලා යන්නේ අධිකරණයේ ඉදිරි පස දොරටුවෙන්ම වන අතර ඔහුට පහසුකම් සපයා දුන් සැකකාරිය ද ඔහු පිටුපසින්ම ගමන් කර තිබේ.

පෙර දින කොළඹ නවාතැන් පොළක රැඳී සිට ඇති ඔවුන් දෙදෙනා අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට පැමිණ වෙඩි තැබීමෙන් පසු මීගමුවට පලාගොස් ඇත්තේ ත්‍රිරෝද රථයකින් බව පැවසේ.

කල්පිටියෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට පලායාමේ සූදානමින් මීගමුවේ සිට වෙඩික්කරු වෑන් රථයකින් ගමන් කර ඇත්තේ අනතුරුවය. වෑන් රථය පවා ඔහුට සපයා දෙන්නේ කෙහෙල්බද්දර පද්මේ විසින් වන අතර සැලසුම වී තිබී ඇතැයි පැවසෙන්නේ රාත්‍රී කාලයේදී බෝට්ටුවක නැගී ඉන්දියාව බලා යෑමටය. ඒ ගුවන් මඟින් පැන යන්න නොහැකි ලෙස කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ සීරුවෙන් තබා තිබීම හේතුවෙනි. කල්පිටිය බලා ඒ යන අතරේදී පොලිස් විශේෂ කාර්ය බළකායට පුත්තලම පාලවියේදී හසුවන විට ඔහු පෙනී සිට ඇත්තේ නීතිඥ කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක ලෙසිනි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය සාමාජිකයන් වෙනුවෙන් නිකුත් කරන හැඳුනුම්පතට සමාන ආකාරයට සකස් කළ ව්‍යාජ හැඳුනුම්පතක්ද ඔහු සතුව තිබී හමුවී ඇත.

වෙඩි ප්‍රහාරයෙන් පැයක් යන්න මත්තෙන් පොලීසිය මේ සැකකරු හඳුනා ගන්නේ මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙසිනි. එහෙත් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් භාවිත කළ නම් දෙකම ව්‍යාජ ඒවා බවත් සැබෑ නම වන්නේ සමිඳු දිල්ෂාන් පියුමගේ කඳනාරච්චි බවය. මහරගම දඹහේන පාරේ පදිංචිකරුවෙක් වන ඔහු යුද හමුදාවේ හිටපු සාමාජිකයෙකි. කොන්ත්‍රාත් ඝාතකයෙක් ලෙස කටයුතු කරන ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින බව සඳහන්ය. සංජීවට වෙඩි තබා මරා දැමීමට ඔහු නීතිඥ වෙසින් පැමිණෙන විටද රුපියල් 5000කට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පෙරේදා (19) රාත්‍රී කාලයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරනු ලබන්නේ ද මොහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස යන නමින් ද ඉන්පසු සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නමින්ද පෙනී සිට ඇති බවය. නීතිඥ හැඳුනුම්පතේ ඇත්තේ කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළේය.

මේ වෙඩික්කරු සමඟ පෙරේදා (19) වෑන් රථයේ රියදුරුද අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු මහේෂ් සම්පත් නමැති 44 හැවිරිදි වියේ පසුවන්නෙකි.

පොලිස් මූලස්ථානය ඊයේ (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදෙන ලෙසය. ඇය අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරු ලබාදෙන අයට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාග පිරිනැමීමට වැඩ බලන පොලිස්පතිවරයා තීරණය කර ඇති බවත් තොරතුරුකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් නිවේදනයේ සඳහන්ය. 071-8591727 යන අංකයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට හෝ 071-8591735 අංකයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

මෙම කාන්තාව සමඟ දුරකතනයෙන් නිරන්තරයෙන් සබඳතා පැවැත් වූ බව කියන මීගමුව පොලිසියේ උසාවි අංශයේ කටයුතු කරන පොලිස් සැරයන්වරයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබීය. එම කාන්තාවගේ ජංගම දුරකතන අංකය විශ්ලේෂණය කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.