රටේ පාලනය වෙනස් වුවද මෙතෙක් පවත්වාගෙන ආ සාර්ව ආර්ථික ප්රතිපත්තිවල දිශානතීන් වෙනස් නොකර වත්මන් රජය ද කටයුතු කිරීම සුබවාදී කරුණක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මහ බැංකු අධිපතිවරයා මේ බව පැවැසුවේ 2025 අය-වැය සම්බන්ධයෙන් පෙරේදා (18) කොළඹදී පැවති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙලෙස ද පැවසුවේය.
“රට නිවැරදි මාවතට ගෙන යෑමට මේ අය-වැය සකස් කර තිබෙනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අය-වැයක් නොව රටට හිතකර අය-වැයක්.
මෙවර ඉලක්ක දෙස බැලුවාම ඒ පිළිබඳ වැඩි විශ්වාසයක් තබන්න පුළුවන්. රුපියල් ට්‍රිලියන පහක ආදායම් ඉලක්කයක් සහ සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් අපේක්ෂා කළත්, මගේ අපේක්ෂාව අනුව එය ප්‍රමාණය ඉක්මවා ගිය ක්‍රියාකාරිත්වයක්. රජයේ සුරැකුම්පත් සඳහා වූ කෙටි කාලීනව පැන නඟින පීඩනය අවශෝෂණය කරගැනීමට ආරක්ෂණ යෙදීම ද වැදගත්. එමඟින් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව ස්ථාවර පොලී අනුපාත පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබේවි. ඇතැමුන් කියන විදිහට IMF අය-වැයක් ගැන කතා කළොත්, වසර ගණනක් පුරා IMF සාකච්ඡාවලට සහභාගී වූ අයකු හැටියට මේ වතාවේ රටක් විදිහට සමස්ත ආර්ථික ස්ථාවරත්වයක් උදෙසා නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට බාහිර පාර්ශ්වකරුවන්ට දී ඇති ප්‍රතිඥා වෙනස් වී නැති බව මට කියන්න පුළුවන්.
පරිපාලනයේ වෙනසක් සිදුවුවත් සාර්ව ආර්ථික ප්රතිපත්තිවල දිශානතිය වෙනස් නොවීම සතුටට කරුණක්. මගේ අදහසේ හැටියට එය අනිවාර්යයෙන් සිදු විය යුත්තක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිති අනුව කටයුතු කිරීම රජයේ වගකීමක්. එය සුබවාදී ලකුණක්. මම දකින විදිහට මේක IMF අය-වැයක් නොවෙයි. රටට හොඳ අය-වැයක්.”
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා,
“ජනතාවගේ බදු මුදල් වියදම් කිරීම ඉතාමත් සැලකිල්ලෙන් කළ යුතු වෙනවා. ජනතාවගේ බදු මුදල් වියදම් කිරීමේදී සෑම රුපියලකටම නිසි වටිනාකමක් ලැබෙන බවට සහතික කළ යුතුයි. මේ සන්දර්භය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13ක් වූ නීතිමය වියදම් සීමාව නාස්තිය අවම කරමින් පරෙස්සමෙන් ක්‍රියාත්මක කළොත් සැලකිය යුතු වටිනාකමක් ගැනීමට එය භාවිත කළ හැකියි.
රජයට ඇති මූල්‍ය සීමා සැලකිල්ලට ගනිමින් දුන් ජනවරමට අනුකූල වන පරිදි නව රජය මෙරට ප්‍රධාන ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. මෙවර අය-වැයෙන් සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 749ක් වෙන්කර තිබෙනවා. එයින් අස්වැසුම වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය ඉහළ දමා තිබෙනවා.
මහජන සෞඛ්‍ය සේවා සඳහා රුපියල් බිලියන 604ක් සහ අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 619ක් වෙන් කර තිබෙනවා. තවද රුපියල් බිලියන 483ක් පොදු ප්‍රවාහනය සහ ප්‍රවාහනය සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එය මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට අත්‍යවශ්‍ය අංශයක්.
මේ මූල්‍ය ප්‍රතිපත්තිය මඟින් රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාව ලැබෙයි කියා විශ්වාසයක් පවතිනවා. මෙවර අය-වැයෙන් රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වැඩි ප්‍රමාණයක් අනාවරණය කර තිබෙනවා. 2022දී මෙරට උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ ගිය අවස්ථාවේ උද්ධමනය පහළට ගෙන ගෙන ඒමට පොලී අනුපාත ඉහළ දැමීමට සිදු වුණා. රජයේ ණය ගැනීමේ පිරිවැය සැලකිය යුතු ලෙස වැඩි වුණා. 2004 වසරේ මූලික මූල්‍ය දත්ත අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට නවයක පමණ ඉහළ පොලී පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා.”