අමුද්‍රව්‍ය-අර්ධ නිමි ද්‍රව්‍ය කර්මාන්තකරුවන්ට බදු සහන දීමට පියවර-ඇමැති සුනිල් හඳුන්නෙත්ති

අමුද්‍රව්‍ය හා අර්ධ නිමි ද්‍රව්‍ය සඳහා කර්මාන්තකරුවන්ට බදු සහන දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයෙන් සංවිධාන කරන FACE TO FACE – MEET THE MINISTER වැඩසටහනේ සමාරම්භක වැඩසටහන පෙරේදා (12) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදීය.

ඇමැති සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මේ වැඩසටහනේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ගේ ගැටලු එකම වේදිකාවකදී ඇමැතිවරුන් ප්‍රමුඛ වගකිවයුතු නිලධාරීන් වෙත යොමු කිරීමට හැකි විය.

රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූ මේ වැඩසටහනේදී කර්මාන්තකරුවන් මුහුණ දෙන ඉඩම් ගැටලුව, රජය විසින් අය කරන බදු, තාක්ෂණික අවශ්‍යතා, කර්මාන්ත සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගැනීම, අමුද්‍රව්‍ය සපයාගැනීම, අමුද්‍රව්‍ය ප්‍රවාහනය, ප්‍රාග්ධනය සපයා ගැනීම, පාරිසරික ගැටලු, රාජ්‍ය ආයතනවල සේවය ගැනීමේදී සිදු වන දුෂ්කරතා ඇතුළු ගැටලු රාශියක් ඇමැතිවරුන් වෙත ඉදිරිපත් කළහ.

කෘෂි නිෂ්පාදන, ධීවර ආශ්‍රිත කර්මාන්ත, ෆයිබර්, පිඟන්, මැටි හා උළු, සංචාරක, ලුණු වැනි ක්ෂේත්‍ර නියෝජනය කරමින් කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ කර්මාන්තකරුවන් රැසක් තම ගැටලු විසඳා ගැනීමේ අරමුණින් මේ වැඩසටහනට සහභාගී වී සිටියහ.

මෙහිදී ඉදිරිපත් වූ ගැටලු කඩිනමින් විසඳීමට අදාළ වගකිවයුතු පාර්ශ්ව වෙත යොමු කිරීමට පියවර ගත් ඇමැතිවරයා පැමිණ සිටි කර්මාන්තකරුවන් අමතමින් මෙලෙස පැවැසීය.

“කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන බටඅත සහ සූරියවැව කර්මාන්ත පුරවල කටයුතු ඉතා ඉක්මනින් අවසන් කර කර්මාන්තකරුවන්ට දීමට කටයුතු කරනවා. අමුද්‍රව්‍ය සහ අර්ධ නිමි ද්‍රව්‍ය සඳහා කර්මාන්තකරුවන්ට බදු සහන දීමට කටයුතු කරනවා.”

මේ වැඩසටහනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක, ප්‍රාදේශීය ලේකම්වරු, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන්, අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

නෙරංජලා වික්‍රමසිංහ