රිදියගම සෆාරියේ සිංහ පැටවුන්ට නම් තබයි

අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අලුත උපන් සිංහ පැටවුන් 6 දෙනාට මහජනතාවගෙන් ලද නම් 4000ක් අතරින් තෝරාගත් නම් 6ක් ඊයේ (12) තැබිණි.

පිරිමි සිංහ පැටවා ‘මේඝා’ ලෙසත්, ගැහැනු සිංහ පැටවුන් පස්දෙනා “ටාරා, අඝ්‍රා, භූමි, අකීරා සහ එල්සා” යනුවෙන් නම් තැබුවේය.

මෙම නම් යෝජනා කරන ලද අයගෙන් තිදෙනක් ද පැමිණ සිටි අතර ඔවුන්ට සිහිවටන තිළිණ ප්‍රදානය කළේය.

‘ලාරා’ සහ ‘යූලා’ සිංහ මවු පියවරුන්ට දාව උපන් පිරිමි පැටවාට ‘මේඝා’ ලෙසින් නම ඉදිරිපත් කර තිබුණේ, ගාල්ල බඩගල්ල කේ. උතුම් ඉඳුවර පාසල් ශිෂ්‍යයා ය. ගැහැනු

පැටවාට ‘ටාරා“ යනුවෙන් නම යෝජනා කර තිබුණේ දැරණියගල අහිංසා රුක්ෂාණි ය.

‘ඩෝරා’ සහ ‘වොලි’ සිංහ මවු පියවරුන්ට දාව උපන් ගැහැනු පැටවා සඳහා ‘භූමි’ නම තබා තිබුණේ නිෂීනා එගොඩගෙදරයි.

‘අඝ්‍රා’ නම, තේමන්දි දෙහස්නා ද ‘අකීරා’ නම පාණදුර දුලීෂා පරණමාන ද, ‘එල්සා’ නම බිංගිරිය දිලීප නිර්මාල් විසින් ද යොජනා කර තිබිණි.

සත්ත්වෝද්‍යාන

දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී. රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නම් තැබීමේ අවස්ථාව පැවැත්විණි.

මාස 3ක් වයසැති මෙම සිංහ පැටවුන් 6 දෙනා මහජන ප්‍රදර්ශනයට තැබීම සඳහා මෙලෙස නම් තැබීමට පියවර ගත්තේය.

සිංහ පැටවුන්ට නම් තැබීම සඳහා නම් යෝජනා කරන ලෙස මහජනතාවගෙන් සෆාරි උද්‍යානයේ බලධාරීන් ඉල්ලා තිබුණි. ඒ අනුව මහජනතාව දැඩි උනන්දුවකින් නම් ඉදිරිපත් කරනු ලැබීය. යෝජිත නම් 4000ක් ලැබී තිබුණි.

ඒ අතරින් තෝරාගත් නම් 06ක් මෙසේ සිංහ පැටවුන්ට යෙදීමට පියවර ගත්තේය.

රිදියගම සෆාරි උද්‍යානයේ උද්‍යාන භාරකරු හේමන්ත සමරසේකර, පශු වෛද්‍ය නදුන් කළුආරච්චි මහත්වරු ද මෙම

අවස්ථාවට සහභාගි වී සිටියහ.

ලුණම සමූහ – සනත් ගමගේ