දේශසීමා ඉක්මවන අර්බුදවලදී ගෝලීය පුරවැසියන් ලෙස අපි සියලු දෙනා එක්විය යුතුයි-ජනපති අනුර දිසානායක ලෝක රාජ්‍ය සමුළුවේදී කියයි

අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු

අපේ රටේ මුහුදු තීරයේ ඇවිද ගියහොත් ඔබ විශ්මයට පත්වනු ඇති

ලොව වැඩියෙන්ම ඇස් පරිත්‍යාග කරන රට ශ්‍රී ලංකාවයි

දේශසීමා ගැටලු ඉක්මවා යන අභියෝගවලට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස අප සියලු දෙනා එක් විය යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් ජනාධිපතිවරයා ඊයේ (12) මේ බව කියා සිටියේය.

මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපායමාර්ග සහ සැලසුම් සංවර්ධනය කෙරෙහි මේ සමුළුව මඟින් ගාමක බලයක් ලබාදෙන බව පැවැසූ ජනාධිපතිවරයා, ගෝලීය අභියෝගවලට මුහුණුදීම සඳහා සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් මෙන්ම ඒකාබද්ධ පෙරමුණක් අවශ්‍ය කරන බවද අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

“මානව ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටිමින්, පෙර නොවූවිරූ ගෝලීය සහයෝගීතාවක් ඉල්ලා සිටින මොහොතක පැවැත්වෙන මේ සුවිශේෂී සමුළුව ඇමතීමට ලැබීම ඉමහත් සතුටක්.

මගේ රට අපූර්ව ඉතිහාසයකිනුත්, අනාගතය පිළිබඳව සුබ සිහින දකින වර්තමානයකිනුත්, පුළුල් දේශපාලන සහ සමාජ දැනුමකිනුත් සන්නද්ධ පුරවැසියන්ගෙන් සමන්විත සුන්දර දිවයිනක්.

ලෝකයේ ඕනෑම රටක සිදුවන සිදුවීමක් පිළිබඳව සහකම්පනයක් මගේ රටේ ජනතාව තුළ තිබෙනවා. ඔවුන් සම්ප්‍රදායට ආදරය කරනවා සේම, වෙනස් විය යුතු තැන ඉතා සබුද්ධිකව වෙනස්වීමට තරම් පුළුල් සමාජ දැනුමකින් පිරිපුන්.

ඒ වගේම ඔබේ ජංගම දුරකතනයෙන් මේ මොහොතේ අන්තර්ජාලය පරීක්ෂා කර බැලුවොත් “ලොව වැඩියෙන්ම ඇස් පරිත්‍යාග කරන රට කුමක් ද?” කියා ඔබට හමු වන්නේ ඉන්දීය මහාද්විපයේ කෙළවර තියෙන මා නියෝජනය කරන ශ්‍රී ලංකාවයි.

එවැනිම පරාර්ථකාමී, උණුසුම් හදවත් තියෙන පුරවැසියන් ජීවත් වෙන රටක් නියෝජනය කරමින් ඔබව ආමන්ත්‍රණය කිරීමට ලැබීම පිළිබඳව මගේ රටේ පුරවැසියන්ගේ නාමයෙන් මම ආඩම්බර වෙනවා.

මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපායමාර්ග සහ සැලසුම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්වෙන මේ සමුළුව අනාගත ලෝකයේ යහපැවැත්ම උදෙසා ඉවහල් වෙතැයි මා විශ්වාස කරනවා.

වර්තමානයේදී අප රටවල් මට්ටමෙනුත්, කලාපීය මට්ටමෙනුත්, ලෝක මට්ටමෙනුත් මුහුණදෙන ගැටලු අති විශාලයි. ඒ වගේම සංකීර්ණයි.

මේ ප්‍රශ්න මායිම් නොකරන සමහරු, තමන්ගේ ආත්මාර්ථකාමී චාරිකාවේ යාත්‍රා කරනවා. එහෙත් අද දවසේ හු‍ෙදකලා ප්‍රශ්න, හෙට දවසේ මුළු ලෝකයේම දොරටුවලට තට්ටු කරන ප්‍රශ්න බවට පත්වන විට තම තමන්ගේ හු‍ෙදකලා චාරිකාව අවසන් වෙනවා.

ඒ නිසා දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණදීම සඳහා අපි ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව යළි යළිත් අවධානයට යොමු කරනවා. ඒ නිසා, මෙම අභියෝගවලට මුහුණදීම සඳහා සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් සහ ඒකාබද්ධ පෙරමුණක් අවශ්‍යයි.

පාලනයේ වගවීම සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම අනාගත ලෝකය වෙනුවෙන් අත්‍යවශ්‍ය වෙනවා. එය පුරවැසියන් තනි තනිව සාමූහික ප්‍රයත්නයක් දක්වා රැගෙන ඒමට හුරු කළ යුතු දෙයක්.

රාජ්‍ය ආයතන ව්‍යූහය සහ නිලධාරි තන්ත්‍රය තම ක්‍රියාවලියන් ගැන වගකීමේ සහ වගවීමේ අවශ්‍යතාව අනාගත ලෝකයට තීරණාත්මකව බලපානවා.

සමාජ සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රමිතිගත රාජ්‍යකට මෙන්ම කෘතහස්ත ලෝකයකට බෙහෙවින්ම වැදගත් වෙනවා. ගිවිසුම් සහ නීති විධිමත් ආකාරයට ක්‍රියාත්මක කිරීමත්, අඩු ආදායම්ලාභීන්ට සහ අස්ථායී ප්‍රජාවන්ට ක්‍රමවත් සහයෝගය සැලසීමත්, නිලධාරීන්ගේ වගවීම තහවුරු කිරීම සඳහා නිදහස් මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන්ට ඉඩප්‍රස්තා සැලසීමත් ඉතා වැදගත් වෙනවා.

1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ නොතිබූ ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් සහ නව අයිතිවාසිකම් සහ වෙනස් වන දේශපාලන පද්ධති මතුවීම මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව ඉල්ලා සිටිනවා.

ඒ පිළිබඳව සංවේදී වීම සහ මැදිහත්වීමේ අවශ්‍යතාව මේ මොහොතේ සිහිපත් කරනවා. තිරසර වටිනාකම් මත පදනම් වූ ලෝක ප්‍රජාවක් ගොඩනැඟීමේදී, ලෝකයේ විවිධ සංස්කෘතික සම්ප්‍රදායන් සඳහා ගෞරවය පවත්වා ගැනීම වැදගත් වෙනවා.

දුප්පත්ම රටවලින් 60%කට ආසන්න ප්‍රමාණයක් ණය අර්බුදයක හෝ ණය අර්බුදයේ ඉහළ අවදානමක සිටින තත්ත්වයක් තුළ අනාගතය සහ ගෝලීය ආර්ථිකය පිළිබඳව බරපතළ සුසුමක් හෙළනවා.

ගෝලීය මූල්‍යකරණ කොන්දේසි දැඩි වීම, අනාගතයේදී ගෙවීමට නියමිත විශාල ණය ගෙවීම් සහ පුළුල් ස්වෛරී ණය අර්බුදයකට මුහුණදීමට වත්මන් ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය දුර්වල ලෙස සූදානම් වීමත් සමඟ, ගෝලීය දැක්ම අතිශයින්ම ගැටලු සහගත වී තිබෙනවා.

නූතන ලෝකයට සාධාරණ ලෙස ගළපා ගත හැකි මූල්‍ය සංශෝධනයන්ට පරිවර්තනය වීම ඉතාම වැදගත් කරුණක් වෙනවා. නො එසේ නම්, සංවර්ධනය සිහිනයක් වී තිබෙන බොහෝ රටවල්වලට උරුම වන්නේ ඛේදනීය ඉරණමක්.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ දැඩි දූෂණය වැනි පාලනයකින් තොරව කාර්මික වර්ධනයේ දරුණු ප්‍රතිවිපාක වෙත මේ ග්‍රහලෝකය ගමන් කරමින් තිබෙනවා.

එය පෘථිවිය වෙත ආලෝක වර්ෂ ගණනක වේගයෙන් එන බිහිසුණු ග්‍රාහකයකට වඩා බියජනකයි. බොහෝවිට ඇතැම් සංවර්ධිත රටවල් ඓතිහාසිකව කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් හතරෙන් තුනකට දායක වී ඇතත්, ඒවා දේශගුණික විපර්යාසවල බලපෑමට නිරාවරණය වන්නේ ඉතා අඩුවෙන්.

සංවර්ධණයේ කිරුළ බොහෝදුර වුවත්, ස්වාභාවිකව සුන්දර යම්යම් අඩු ආදායම්ලාභී රටවල් රැසකම චමත්කාරය වෙනත් පාර්ශ්වයන්ගේ අපද්‍රව්‍යවලින් වැනසී යමින් තිබෙනවා. එවැනි රටවල් සහ දූපත් සතු සුන්දර වෙරළ තීරයන් ඒ ව්‍යසනයන්ගේ ගොදුරු බවට පත්ව තිබෙනවා.

ජීවිතයේ යම් දිනක ඔබ අපේ රටේ සංචාරය කළහොත් රට වටා ඇති මුහුදු තීරය පිළිබඳව ඔබ විශ්මයට පත් වෙනවා.

ඩිජිටල් විප්ලවය දැනටමත් මිනිසුන් ජීවත් වන ආකාරය, වැඩ කරන ආකාරය සහ සන්නිවේදනය කරන ආකාරය වෙනස් කර තිබෙනවා.

බිලියන සංඛ්‍යාත ජනතාවට සතුටින්, සෞඛ්‍ය සම්පන්නව සහ වඩාත් ඵලදායී ජීවිත ගත කිරීමට උපකාර කිරීමේ හැකියාව ඇති එම තාක්ෂණයන්ම ලොව පුරා පුරවැසියන්ට සහ රජයන්ට නව අභියෝග නිර්මාණය කරන බවත් අපට අමතක කරන්නට බැහැ.

ඉතාම සරලව, පරිගණක වෛරසයක් ගැන සිතන්න. එය තුවක්කු බැරලයකින් වෙඩි තබන්නේ හෝ ගුවන් යානයකින් පරමාණු බෝම්බ ලෙස හෙළන්නේ හෝ මිසයිල විදිනයකින් ප්‍රහාර එල්ල කරන්නේ හෝ නැහැ. එහෙත්, ඉකුත් සමයේ න්‍යෂ්ටික ප්‍රහාරවලට වඩා බරපතළ තර්ජනයක් සයිබර් ප්‍රහාර හරහා සිදුව තිබෙනවා.

ආයුධ සහිත සාම්ප්‍රදායික යුද්ධවලදී සිවිල් වැසියන් ඉලක්ක කිරීම වැනි දේවලට එරෙහිව ජාත්‍යන්තර නීති සංග්‍රහ කර තිබෙනවා. සයිබර් යුද්ධවලට එවැන්නක් කොහෙද?

එබැවින් ශක්තිමත් සයිබර් ආරක්ෂණ ක්‍රියාවලියකට ලෝකය යොමු විය යුතු වෙනවා.

ඒ වගේම කුමන හේතුවකටවත් වැඩ වර්ජනය නොකරන රෝබෝවරයකු, කම්කරුවකුගේ රැකියාව ග්‍රහණය කර ගැනීමේ අභියෝගය ඔබ ඉදිරියේ තිබෙනවා. මේ අභියෝගය සැලකිල්ලෙන් කළමනාකරණය කළ යුතු අතර, අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ නව රැකියා අවස්ථා, ප්‍රජා සංවර්ධන වැඩසටහන්, දැනුම් ව්‍යාප්තිය සහ සහයෝගී ක්‍රමවේද හරහා මානව සම්පත බලගැන්වීම අවශ්‍ය වෙනවා.

මේ අතර, ඉදිරි දශක දෙක තුළ, ජනගහන වර්ධනය, නාගරීකරණය සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය හේතුවෙන් සෞඛ්‍ය අභියෝග කිහිපයක් දිගටම පැවතීමට සහ පුළුල් වීමට ඉඩ තිබෙනවා.

මිනිසුන් වශයෙන්, අපි නොවැළැක්විය හැකි ලෙස අන්තර් සබඳතා පවත්වනවා.වසරකට වැඩි කලක් වයිරසයක් විසින් ග්‍රහලෝකයක අති බහුතරයක් මානවයන්ගේ මුහුණු, මුව ආවරණ මඟින් වසා දමන්නට කටයුතු කළා. එය ලෝකයේ බලවත්ම රාජ්‍යයේ සිට දුප්පත්ම රාජ්‍ය දක්වා බරපතළ පීඩනයක් ඇති කළා.

2024දී බෝවන රෝග කිහිපයක වැඩි වීමක් හෝ නැවත පැමිණීමක් දක්නට ලැබුණා.

බෝ නොවන රෝග අතර පිළිකා රෝගය ජීවිතවලට අසාමාන්‍ය බලපෑමක් සිදු කර තිබෙනවා. මේ මොහොතේත් ජීවිතය සහ මරණය අතර සැරිසරන මිලියන ගණනක පිළිකා රෝගීන් සිටිනවා.

හෘද රෝග, දේශසීමා නොතකා ජීවිතවලට කඩා වදින අතර එය බිහිසුණු ව්‍යසනයක් වී තිබෙනවා. 2030 වර්ෂය වන විටදී ලොව පුරා මානසික රෝග සඳහා වන ආර්ථික පිරිවැය ඩොලර් ට්‍රිලියන 16 ඉක්ම විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයන් ප්‍රක්ෂේපණය කරනවා.

දේශගුණික අර්බුදය හේතුවෙන් 2050 වන විට තවත් මරණ මිලියන 14.5ක් විය හැකි බවට පුරෝකතනය කරනවා.

ඩිජිටල් සෞඛ්‍ය, නව තාක්ෂණ සහ නවීන සෞඛ්‍ය උපකරණ, පාරිසරික සෞඛ්‍ය හා තිරසරභාවය, ආර්ථිකව අවදානම් සහිත රටවල් සඳහා සෞඛ්‍ය මූල්‍යමය සහයෝගය පිළිබඳව මූලිකව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙනවා.

ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් ක්‍රමවත් කිරීම සහ වැඩි කිරීමත් කළ යුතුව තිබෙනවා.

මානව වර්ගයා විසින්ම සිය ප්‍රගමනයට නිර්මාණය කළ දේ ඇතැම් විට අපගමනයට හේතු වන අභියෝගකාරී බව අප ඉදිරිපිට තිබෙනවා. එම අභියෝග ජයගැනීම අප විසින්ම කළ යුතු දෙයක්.

ඔබ ඇතැම් විට මැදපෙරදිග නියෝජනය කරනවා වෙන්නට පුළුවන්. ඇතැම් විට අප්‍රිකාව, ආසියාව, යුරෝපය හෝ ඇතැම් විට බටහිර ඔබේ නියෝජනය වන්නට පුළුවන්.

එහෙත් අපි සියලු දෙනා මුහුණදෙන ප්‍රශ්න වගේම අපේ හදවත්වල නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනඟමු යන ආයාචනයයි.

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙනගත යුතුය” කියා මාර්ටින් ලූතර් කිං පවසා තියෙනවා. එසේ නොවුණහොත් සිදු වන දේත් ඔහු පවසා තිබෙනවා.

අපි අපේ රටේ ජනතාවට අරමුණක් එක් කළා. ඒ “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” හදන්න එකතු වෙමු කියා. ඉතිහාසගත ලෙස ඔවුන් එය අනුමත කළා.

මෙම ඓතිහාසික සමුළුවේදී මම ඔබට ආයාචනා කරනවා “අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු”