මහනුවර-සීආර් සහ හැව්ලොක් කුසලාන වටයට-ගුවන් හමුදාවත් වසර 13කට පසු එක්වෙයි

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය ඊයේ නිමාවෙද්දී මහනුවර ක්‍රීඩා සමාජය සමඟ හැව්ලොක්, සීආර් ඇන්ඩ් එෆ්සී සහ ගුවන් හමුදා කණ්ඩායම් කුසලාන වටයට සුදුසුකම් ලැබීමට සමත් වූ අතර, සීඑච් ඇන්ඩ් එෆ්සී, යුද, පොලිස්, ශ්‍රී ලයන්ස් සහ නාවික හමුදා කණ්ඩායම පළග ශූරතා වටයට එක්විය.

සීආර් පිල සමඟ සීආර් පිටියේ පැවති පළමු වටයේ අවසන් තරගයෙන් ලකුණු 32-10ක ජයක් මහනුවර පිලට හිමිවිය. පළමු භාගය නිමා වනවිට ලකුණු 15-7 කින් පෙරමුණ ගත් මහනුවර පිල තරගය පුරා ගෝල් 2, උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහරක් එල්ල කළ අතර, සීආර් පිලට රැස් කිරීමට හැකි වූයේ ගෝලයක් සහ දඬුවම් පහරක් පමණි.

පොලිස් පිල සහ ශ්‍රී ලයන්ස් පිල අතර ඊයේ පොලිස් පිටියේ පැවති තරගයෙන් ලකුණු 28-10ක ජයක් අත්කර ගැනීමට පොලිස් පිල සමත් විය. පොලිස් පිල ගෝල් 4ක් ලබාගත් අතර, ලයන්ස් පිලේ ලකුණු අතරට එක්වූයේ උත්සාහක දිනුම් 2 ක් පමණි.

මේ අතර පළමු වටයේ අවසන් සති අන්තයේ තරග ආරම්භ කරමින් පෙරේදා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පනාගොඩ පැවති තරගයෙන් ලකුණු 27-19ක ජයක් වාර්තා කළ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වසර 13කට පසු පළමු වරට ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයට සුදුසුකම් ලැබීමට සමත් විය. මේ තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 15-12කින් පෙරමුණ ගත් ගුවන් හමුදා ක්‍රීඩකයන් තරගය පුරා ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් රැස් කළ අතර, යුද හමුදා පිලට රැස් කිරීමට හැකි වූයේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් පමණි. එදිනම පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 69-24ක ජයක් අත්කර ගැනීමට සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සමත් විය. සීඑච් පිල තරගය පුරා උත්සාහක දිනුම් 11ක් තැබීමට සමත්වීම කැපී පෙනුණි. ඉන් උත්සාහක දිනුම් 7ක්ම ගෝල බවට පත්වූ අතර, නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව ගෝල් 3කට සහ දඬුවම් පහරකට සීමා විය. තරගයෙන් ජය ලැබූ සීඑච් පිල සහ පරාජිත නාවික හමුදා පිල පලඟ ශුරතා වටයට එක්වනු ඇත.

ෆවුස් මොහොමඩ්