තමාගේ නමට හානි වන ආකාරයේ දෙයක් යම් ආයතනයක් හෝ පුද්ගලයකු කළහොත් ඒ වෙනුවෙන් තමන් අනිවාර්යයෙන් සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා(07)පැවැතියේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.
‘‘මම දේශපාලනයට එන්න පෙර පොලිසිය කළ වෙඩි තැබීමකදී මට 2001 දී වෙඩි වැදුණා.එහිදී මම පොලීසියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවැරුවා.එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණාත්මක නඩු තීන්දුවක් දුන්නා. පොලීසිය අවම බලය යෙදීම සම්බන්ධයෙන් සේනසිංහට එරෙහි රජය කියන නඩු තීන්දුව තමයි භාවිත කරන්නේ. ඒ නිසා ඒ නඩුව රටේ තීරණාත්මක නඩුවක් වුණා. ඉන්පසුව මම 2004 දී දේශපාලනයට පැමිණි පසු ජනතාවගේ අයිතිවාසිකම් සහ රටේ සිදුවුණ වංචා, දූෂණ සම්බන්ධයෙන් පෙනී සිටින්න කටයුතු කළා. එමෙන්ම කිසිම මුදලක් අය නොකර ජනතාව වෙනුවෙන් පැවැති නඩුවලදී පවා මම නීතිඥවරයකු වශයෙන් පෙනී සිට තිබෙනවා.
රටේ සිදුවුණු වංචා, දුෂණ සම්බන්ධයෙන් හඬ නඟද්දී,වැරදි කරන දේශපාලනඥයන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කරද්දී මාව සෘජුවම ඉලක්ක කරගෙන විවිධ මඩ ප්‍රහාර එල්ල කරමින් මගේ කීර්තිනාමය විනාශ කරන්න බොහෝ පුද්ගලයන් සහ ආයතන කටයුතු කළා. මගේ නමට හානිවන ආකාරයේ දෙයක් යම් ආයතනයක් හෝ පුද්ගලයකු කළහොත් ඒ වෙනුවෙන් මම අනිවාර්යයෙන් සටන් කරනවා. ඒ අනුව එක්තරා පෞද්ගලික නාළිකාවක් 2017 වසරේදී විකාශය කළ ප්‍රවෘත්තියකදී සී.බී.රත්නායක මහතා මම මහ බැංකු බැඳුම්කර පුට් නෝට් කල්ලියේ සාමාජිකයකු බවට කළ අසත්‍ය ප්‍රකාශය නිසා මට වූ අපහාසයට වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා නඩුවක් පවරනු ලැබුවා. ඒ වගේම මගේ කිර්ති නාමයට අපහාස වන ලෙස අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයකටත් විරුද්ධම මම නඩු පවරලා තිබෙනවා. ඒ මාධ්‍ය ආයතනය ඉතාමත් ම්ලේච්ඡ ආකාරයට මගේ නම පලුදු කර තිබුණා. එම ආයතනයට සම්බන්ධ දේශපාලනඥයකු ඉහළ නැංවීමට මගේ නම පලුදු කරන්න ආයතනය විශාල උත්සාහයක් දැරුවා ඒ සම්බන්ධයෙන් තමයි මම පළමුවෙන්ම නඩුවක් පැවැරුවේ.
මේ වන්දි මුදලින් මම මහරගම අපේක්ෂා රෝහලට ලක්ෂ 150ක මුදලක් පරිත්‍යාග කරන්නත් කටයුතු කරනවා.ඒ වගේම පේරාදෙණිය රෝහලට ලක්ෂ 100ක මුදලක් පරිත්‍යාග කරන්න කටයුතු කරනවා. ඊට අමතරව මගේ මව කරගෙන යන ළමා නිවාසයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මුදලක් වෙන් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.
රක්ෂණ ශ්‍රියන්ත