ශක්තිමත් ආර්ථික පදනමක සිට නැවත නැගීසිටීමට රජය අපනයනකරුවන්ට අත දෙනවා-ජනාධිපති අපනයන සම්මාන 26 වැනි උලෙළේදී ජනපති කියයි

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.

වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩනැඟුණ අත්තිවාරම මත නැවත නැඟීසිටීමට සහාය ලබා දීමට තම රජය සූදානම් බව අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අපනයන 26 වැනි සම්මාන උ‍ෙලළ අමතමිනි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන 26 වන ජනාධිපති අපනයන සම්මාන උලෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා‌ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන පරමාර්ථය වේ. ඒ අනුව අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ලෙස ජනාධිපති අපනයන සම්මානය පිරිනැමේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර 2023/24 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් මෙවර සම්මාන ප්‍රදානය කෙරිණි.

මෙහිදී සමස්ත සම්මාන 14ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 5‍ෙක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබූ අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිත කිරීමේ හැකියාව සම්මාන ලාභීන්ට හිමිවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ලෝකයේ වෙළෙඳපොළ ආර්ථිකය රඳා පවතින්නේ ස්වයං හෝ ස්වාධීනව නොවන බැවින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාවෙන් පරිබාහිර ආර්ථිකයේ කොටස්කරුවන් ශ්‍රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය ඉතා වැදගත් බවයි.

වර්තමාන ලෝකය තුළ වෙළෙඳපොළ බෙදාගෙන අවසන් වී තිබීම හා යළි වෙළෙඳපොළ බෙදා ගැනීම සඳහා තරගයක් ඇති වී තිබීම තුළ ප්‍රමාණවත් පංගුවක් අත්පත් කර ගැනීම අප රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. අද වෙළෙඳපොළ ලෝක දාමයක් බවට පත් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි පාර්ශ්වකරුවකු බවට පත් වීමට රටට හිතකර වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුතු බවත් දඩබ්බර, හිතුවක්කාර දරුවකු ලෙස වෙළෙඳපොළ ආක්‍රමණය කළ නොහැකි බවත් අවධාරණය කළේය.

එහිදී ගුණාත්මකභාවයෙන් වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට තම රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝකයේ ඇතිවන වෙනස්කම්වලට අනුරූප වන පරිදි නව භාණ්ඩ හා සේවා සැපයීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විදුලිබිල අඩු වීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර කිහිපයක් තුළ පිරිවැය අඩු කර ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේය. රටේ ආර්ථිකය වෙනත් තලයකට ගෙන යාමට රජයක් ලෙස උපරිම මැදිහත්වීම සිදු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට මරු පහරක් වනු ඇති බැවින් ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ඉතා ප්‍රවේසම් සහගත විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. රටේ ආර්ථිකය නඟාසිටුවීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස අපනයනකරුවන්ගේ ඉල්ලීම්, මේ වන විට සකස් කර ගෙන ඇති අත්තිවාරම නොබිඳෙන ලෙස ඉටු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මේ වන විට ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළට ප්‍රවේසම් සහගතව යොමු වී ඇති බවත් ඒ අසීරු කඩඉම අන්‍යෝන්‍ය අවබෝධයෙන් පියමං කිරීමට එක් වන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා-

අපට තියෙන ඉලක්කයන් පිළිබඳව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා මීට පෙර පැහැදිලි කළා. ලබන අවුරුද්ද වන විට ඩොලර් බිලියන 18කුත්, 2030 වන විට කර්මාන්ත සේවා ක්ෂේත්‍රයේ පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන 36කුත් සංචාරක ක්ෂේත්‍රයත් එක්ක එකතු කරලා ඩොලර් බිලියන 45කට අප යන්න හදන උත්සාහය අමාරු ඉලක්කයක් ලෙස පෙනෙන්න පුළුවන්. පසුගිය කාලයේ ප්‍රතිපත්ති සකස් වී තිබුණේ අපනයන වර්ධනය කරන දිශාවකට නොවේ. ඒවා දුර්වල වන දිශාවකට. පසුගිය දිනවල අවුරුදු 28කට පසුව අපනයන අමාත්‍ය සභාව සක්‍රිය කළා. සෑම අපනයනකරුවෙකුටම දේශීය වශයෙන් ආරක්ෂාව අවශ්‍යයි. ආනයනවලින් අන් කර්මාන්ත ආරක්ෂා කරගන්න ඕනේ. ජනාධිපතිවරයාගේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය සංචාරය අපට ඉතා වැදගත්. අපේ රටේ අපනයන යන්නේ නැති කලාපවලට ඒවා යවන්න ඕනේ. තාක්ෂණික විප්ලවයක් අප කළ යුතුයි. අපේ අපනයන ආදායමෙන් 90%කට දායක වෙලා තියෙන්නේ අපනයනකරුවන් 456 දෙනෙක්. ඔවුන් මෙන්ම අනෙක් පිරිසද අප ආරක්ෂා කරගන්න ඕනේ. සංවර්ධන බැංකුවක් නිර්මාණය කිරීමට දැන් සාකච්ඡා කරගෙන යනවා.

කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති ඇමැති කුමාර ජයකොඩි, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහත්ම මහත්මීහු ඇතුළු ඇමැතිවරුන් , නියෝජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජතාන්ත්‍රිකයින්, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

උපාලි කරුණාරත්න, නෙරංජලා වික්‍රමසිංහ