දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත් දෙමෝදර සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය කළ විවෘත මැදිරියකින් යුතු ‘කැලිප්සෝ’ දුම්රිය මේ මස 14 වැනිදා සිට දිනකට වාර හතරක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම මනරම් දුම්රිය නිර්මාණය කිරීමට දායක වූ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත පෙරේරා, අධිකාරි ඉංජිනේරු ව්‍යාපෘති සංවර්ධන ක්‍රිෂාන්ත ගාල්ලගේ මහත්වරුන් ඇතුළු හත් දෙනෙක් මේ දුම්රිය ගමනට උපහාර දැක්වීමක් වශයෙන් රැගෙන යෑමට තීරණය කර තිබේ. මෙරට ඉංජිනේරු තාක්ෂණය මනාව විදහා දක්වමින් වසරකට අඩු කෙටි කාලයකදී කැලිප්සෝ දුම්රිය මැදිරිය නිර්මාණය කිරීමට දායක වූ සැම සිහි කරමින් දෙමෝදර සිට බණ්ඩාරවෙල දක්වා මංගල ගමන් වාරයක් ධාවනය කිරීමට මේ වන විට සියල්ල සූදානම් කර ඇත.
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ උපදෙස් මත, කැලිප්සෝ දුම්රිය මැදිරිය නිර්මාණය කරලීමට 30ක පමණ කණ්ඩායමක් දායක වූ බව අධිකාරි ඉංජිනේරු ව්‍යාපෘති සංවර්ධන ක්‍රිෂාන්ත ගාල්ලගේ මහතා ‘දිනමිණ’ට පැවසීය. කැලිප්සෝ දුම්රිය මැදිරිය ප්‍රථම වරට පසුගිය වසරේ අප්‍රේල් මස 05 වැනිදා ධාවනයට එක් කරනු ලැබීය. ඉවත් කිරීමට නියම කළ දුම්රිය මැදිරියක් උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද මේ දුම්රිය මැදිරියට රුපියල් ලක්ෂ 55ක් පමණ වැය වී තිබේ.
ජාතියේ මනරම් උරුමයක් වූ උඩරට දුම්රිය මඟෙහි වර්ණිත චමත්කාරය රැඳුණු විවෘත මැදිරියකින් යුතු ‘කැලිප්සෝ’ ලෙස නම් කළ මේ විශේෂ දුම්රියේ මැදිරි හතරකි. ඊට එක් කළ නැරඹුම් මැදිරිය මනරම් දැව කැටයමින් යුතු දැවමුවා පෙනුමකින් නිර්මාණය කර ඇත.
බණ්ඩාරවෙල, ඇල්ල, දෙමෝදර පාලම, රාවණා ඇල්ල, රේල් ගැටේ ඇතුළු මනරම් ස්ථාන මේ විවෘත මැදිරියෙහි ගමන් කිරීමෙන් දර්ශනය වනු ඇත.
කැලිප්සෝ දුම්රිය රටේ දේශීය සම්පතක් බවත්, ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් කළමනාකරණය කරමින් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට එහි ගමන් වාර වැඩිකරලීමට පියවර ගත් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.