සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 250ක් ගෙවන ලෙස ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක මහතාට ඊයේ (05) නියෝග කළාය.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනි නාළිකාවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමාට අපහාසයක් වූ බවට සුජීව සේනසිංහ මහතා ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය මේ නියෝගය සිදු කළාය. මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ජාලයක විකාශය වූ වැඩසටහනක දී සී.බී. රත්නායක, බැඳුම්කරය සම්බන්ධයෙන් සුජීව සේනසිංහ , හර්ෂ ද සිල්වා සහ අජිත් පී. පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ෆුට් නෝට් දැමූ බවට අපහාස සිදු වන අන්දමින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සුජීව සේනසිංහ මහතා මේ නඩුව ගොනු කර තිබුණි.
සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නිතිඥ ෆර්හාන් කාසිම් මහතා ද සී.බී. රත්නායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සුභාෂිණී සේනානායක