ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවල දී අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් සහ ප්‍රදාන ලැබුණු බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය බටහිර මාධ්‍ය සමඟ මතභේදාත්මක තත්ත්වයකට පැමිණ ඇති බවත් මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල ප්‍රශ්නසහගත සහ අස්ථාවරත්වය ඇති කිරීමට යොදා ගත් බවට චෝදනා එල්ල වී ඇතැයි ද ඒ මහතා සිය ÒXÓ ගිණුමේ සටහනක් තබමින් කියයි. ඔවුන් තම ප්‍රදාන සහ ආධාර අරමුදල් භාවිත කළ ආකාරය සම්බන්ධව පැහැදිලිව වාර්තා වී නොමැති අතර අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදාන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා එම සටහන මඟින් සඳහන් කරයි.
එමෙන්ම එම ප්රතිලාභ ලැබූ මෙම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු බව ද හෙතෙම පෙන්වා දී තිබේ.
රාජ්‍ය නොවන සංවිධාන වෙත අරමුදල් සැපයීම සඳහා වන රෙගුලාසි වසර ගණනාවක් තිස්සේ සඳහන්ව තිබුණත් එය තවමත් සිදුකර නොමැති බැවින් විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා මෙම රෙගුලාසි ගෙන එන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.