පූර්ණ නිදහස දිනාගැනීමේ මෙහෙයුමේදී ඔබ අපි සියලුදෙනා එකම බිමක අරගලකරුවෝ වෙමු-77 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවයේදී ජනපති කියයි

නිදහස් දිනය අපි සමරන්නේ අනාගතය දෙස බලාගෙනයි:

නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ විරුවන්ගේ ලේ කඳුළු මතිනුයි මේ ගමන ආවේ

ජාතික ධජය ඉදිරියේ ජනපති ලෙස සිටගන්නේ අනාගත අපේක්ෂාවල බර දරාගත් සහෝදරයා විදියටයි:

ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැකි නමුත් අප උත්සාහ කළොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත හැකි සමානාත්මතාව සහ නිදහසේ ආදර්ශ රාජ්‍යය බවට පත්විය හැකි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

කොළඹ 7, නිදහස් චත්‍රරස්‍රයේ පැවැති 77 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. තමන් අනාගතය වෙත භාර කරන්නේ ඉතිහාසය විසින් තමන් වෙත පැවරූ ලංකා රාජ්‍යය නොව, විශ්වව්‍යාපී පුරවැසියෙක් ලෙස ජීවත් වීමට ප්‍රාර්ථනා කළ පුරවැසි අභිමානය ගරු කරන දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක් බවට සපථ කර ප්‍රකාශ කරන බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

මෙවර අපි සමරන්නේ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දින වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නේ අනාගතය දෙස බලාගෙනයි. උතුරේත්, දකුණේත්, නැඟෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රාජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතකයි අපි අද නිදහස සමරන්නේ.

1948 පෙබරවාරි 4වැනිදා අපේ රටට, අප වෙනුවෙන් තීරණ ගැනීමට අවශ්‍ය දේශපාලන නිදහසක් හිමි වුණා. ඒ නිදහස සීමිත වුණත් ඒක වැදගත්. ඒ තමයි අපි දේශපාලන ස්වාධීනත්වය ලැබීමේ ඉතිහාසයේ පළමුවෙනි මොහොත. 1505 සිට කොටස් වශයෙන් බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත් වුණ මේ දිවයින 1815 සමස්තයක් ලෙසම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත් වුණා. එයින් මිදී මීට වසර 77කට පෙර ඉන්දියන් සාගරයෙන් වට වූ මේ දූපත ස්වාධීන රාජ්‍යයක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය දේශපාලන කොන්දේසි සැපිරීම ආරම්භ කරන්නේ අද වැනි දවසක. ඒ නිසා ඒක අපි සැමරිය යුතු දවසක්.

මේ දවස උදාකිරීම වෙනුවෙන් ආත්මීය පරිත්‍යාග කළ සියලු වීරෝදාර මිනිසුන්ට අපේ ආචාරය පුද කළ යුතු දවසක් අද. ඒ වගේම ඒ නිදහස පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔවුන් ලබා දුන් ඒ යෂ්ටිය රැගෙන 1948න් පසුවත් තවත් වීරෝදාර මිනිසුන් කඳු පල්ලම් සහිත මාවතක අපේ නිදහස වෙනුවෙන් ගමන් කළා. කිරීටයෙන් පූර්ණ දේශපාලන නිදහස ලබන 1972 වසරත් පසු කරමින් ඒ යෂ්ටිය රැගෙන 77 වන නිදහස සමරන මේ මොහොත දක්වා අප දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා. ඒ ගමනේ අප දන්නා අප සමරන වීරයන් වීරවරියන් සේම අප නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝදාර මිනිසුන්ගේ ලේ කඳුළු දහදිය මතින් අද දක්වා අප පැමිණ සිටිනවා. ඒ සියලුදෙනාට මේ මොහොතේ අපගේ ආචාරය හිමි වෙනවා.

අද මම මේ රාජ්‍යයේ මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා ලෙස මේ නිදහස් චතුරස්‍රයේ මේ අභිමානවත් ජාතික ධජය ඉදිරියේ සිටගන්නේ නිදහසේ අනාගත අපේක්ෂා නියෝජනය කරන, ඒ ඓතිහාසික බර දරාගත් ඔබගේ සහෝදරයා ලෙසයි. මා ලෙසම මේ බර දරාගෙන මේ මොහොතේ ඔබත් මා සමඟ මා අසල එක්ව සිටගෙන සිටිනා බව මා විශ්වාස කරනවා.

අපට අපේ ආර්ථික නිදහස වෙනුවෙන්, අපට අපේ සමාජ සංස්කෘතික නිදහස වෙනුවෙන්, කොටින්ම නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව මේ රටේ ජීවත් වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කර ගැනීම වෙනුවෙන්, එක්ව යා යුතු ගමනක් තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ යටත්වැසියන් ලෙස අප බෙදා වෙන් කර පාලනය කළ ජනවාර්ගික භේද, ආගමික භේද, කුල භේද පමණක් නොවේ, දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර, ආයතන ප්‍රධානීන් හා ආයතන කාර්යමණ්ඩල අතර, මගීන් සහ පොදු ප්‍රවාහනය මෙහෙයවන්නන් අතර, රජයේ සේවකයන් සහ තම වුවමනා ඉටු කිරීමට එන පොදුජනයා අතර, ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර, මේ ආදී මේ සෑම තැනකම මුල් බැසගෙන ඇති අගතීන් සෝදාහැර මේ සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙනවා සේම, නූතන ලෝකයට උරුම මානව ගරුත්වය, ආදරය සහ දයාව සියලු මිනිස් සබඳතාවන්ගේ පදනම බව අප අපටම අවධාරණය කර ගත යුතුව තිබෙනවා. එසේම මේ රටේ පුරවැසියන් ලෙස මනුෂ්‍යයකුට හිමි වන ගෞරවය හෝ ආදරය ආබාධිත බව නිසා, වයෝවෘද්ධ නිසා, රෝගී බව නිසා හෝ එවැනි කිසිම නොහැකියාවක් මත සීමා වීමට අප ඉඩදිය යුතු නැහැ. යටත්විජිතවාදයෙන් මිදී වසර 77ක් සපිරෙන විට රටක් ලෙස නිදහස ගැන අපට අලුතෙන් සිතිය හැකි වන්නේ එවිටයි.

මේ නිසා අප මතක තබාගත යුතුයි රටට ආර්ථික, සමාජයීය, සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනා ගැනීමේ මෙහෙයුමේ ඔබ අප සියලු දෙනා එකම අරගල බිමක අරගලකරුවන් වන බව. අප සියලු දෙනා එකාවන්ව මේ මාතෘභූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා.

මේ මෙහෙයුමේ අපේ ජාතියට ආහාර නිෂ්පාදනය කරන ගොවියන් සහ ධීවරයන් ලෙස ඔබට එහි භූමිකාවක් තිබෙනවා. අපේ ජාතියට දැනුම නිෂ්පාදනය කරන ඒ දැනුමින් අනාගත පරම්පරා පෝෂණය කරන ගුරුවරුන් ලෙස ඔබට එහි කාර්යභාරයක් තිබෙනවා. අපේ ජාතියේ නීරෝගි බව සුරකින සෞඛ්‍ය සේවයේ ක්‍රියාධරයන් ලෙස ඔබට එහි කාර්යභාරයක් තිබෙනවා. අපේ පුරවැසි ආරක්ෂාව සහතික කරන පොලීසිය සහ ආරක්ෂක අංශ ලෙස ඔබට එහි වගකීමක් තිබෙනවා. අපේ රටේ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන, අපේ රට කාර්මීකරණය කරා ගෙන යන, අපේ රටේ සේවා ආර්ථිකය ශක්තිමත් කරන ඔබ සියලු දෙනාට එහි සුවිශේෂී භූමිකාවක් තිබෙනවා. ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සිට කඳුකරයේ තේ දලු නෙළන ගැහැනුන්ගේ මිනිසුන්ගේ සිට, අපෙන් දුරස්ව සිටිමින් දුරු රටවල අප වෙනුවෙන් වෙහෙසෙන්නන්ගේ සිට, තොරතුරු තාක්ෂණයෙන් අපේ රට ඉහළට ගෙන යෑමට වෙර දරන, සංචාරක කර්මාන්තයෙන් අපේ රට ඔසවා තබන්න වෙහෙසෙන ඔබ සැමට එහි භූමිකාවක් තිබෙනවා. ගෝලීය ආර්ථික පද්ධතියේ දුබලයකු නොවී එහි සෑම චලනයකින්ම තැළෙන පෑගෙන යටත්වැසියකු නොවී ආර්ථික තලය තුළ අපේ නිදහස සාක්ෂාත් කර ගන්නට නම් අප සියලුදෙනා එක්ව මේ මාතෘභූමිය වෙනුවෙන් කැපවිය යුතුව තිබෙනවා. ඒ ආර්ථික නිදහස වෙනුවෙන් අප කරන අරගලයේ අපේ සමාජයීය සංස්කෘතික නිදහස කිසිසේත්ම දෙවැනි කර තැකීමට අප සූදානම් නැහැ. ඒ නිසා කලාකරුවන් ලෙස, ලේඛකයන් ලෙස, ජනමාධ්‍යවේදීන් ලෙස, ශාස්ත්‍රඥයන් ලෙස වෛරයෙන් ක්‍රෝධයෙන් අපවිත්‍ර කරනු ලැබූ අපේ ජාතික ආත්මය පවිත්‍ර කරන්නට සුවපත් කරන්න ඔබට ඇත්තේ අත්හැරිය නොහැකි වගකීමක්. එහිදී ආගමික නායකයන් වෙත සුවිශාල වගකීමක් පැවරී තිබෙනවා. එසේම මේ රටේ අනාගත පරපුර හදා – වඩා ගන්නා සුවහසක් ආදරණීය මවුවරුන් ලෙස ආදරණීය පියවරුන් ලෙස ඔබටත් එහි ඇත්තේ සුවිශේෂී කාර්යභාරයක්.

ඒ වගේම හෙට දින මේ රට භාර ගැනීමට සූදානමින් අද දින සිප්සතර හදාරන දුවා -දරුවන් ලෙස ඔබට එහි අද්විතීය භූමිකාවක් තිබෙනවා. මේ රටට අසීමිත ලෙස ආදරය කළ මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාග, ලේ කඳුළු දහදිය මතින් මේ රට අනාගතය වෙත ගෙන යන වගකීමේ යෂ්ටිය අප වෙත භාර වූ පරිද්දෙන් අප විසින් ඒ ගෞරවනීය වගකීම මතු දිනයකදී ඔබට භාර කරනු ලබනවා. එහෙත් 2025 පෙබරවාරි 4 වැනිදා යටත් විජිතකරණයෙන් නිදහස් වී වසර 77කට පසු ජාතික නිදහස සමරන අද දිනයේ ඔබට මා එක දෙයක් සපථ කර කිව යුතුයි. ඔබට අප විසින් භාර දෙනු ලබන ඒ රට අපට ඉතිහාසය විසින් භාර දුන් රට නොව ඔබ විශ්වව්‍යාපී පුරවැසියෙක් ලෙස ජීවත් වීමට ආසා කරන, ඔබේ පුරවැසි අභිමානය ගරු කරන, දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක් වන බවයි. එසේම මානව ශිෂ්ටාචාරය මේ වන විට අත් කරගෙන ඇති විද්‍යාත්මක, තාක්ෂණික සහ චින්තනමය ජයග්‍රහණ මේ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුරවැසියකු ලෙස අත්විඳීමට ඔබට ඇති හිමිකම තහවුරු කරනු ලැබූ රටක් වන බවයි. මා ස්ථිරසාර ලෙස අද ඔබ ඉදිරියේ මෙසේ පවසන්නේ ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යෑමට අපට කිසිම යුක්තිසහගත අයිතියක් නැති වන නිසයි. අප එසේ නොකළ බවට අනාගතය සාක්ෂි දරනු ඇති. එසේම අප විසින් ඔබට භාර දෙන අපේ මේ ආදරණීය මාතෘභූමිය අපටත් වඩා වැඩි සෙනෙහසකින්, අපටත් වඩා වැඩි ජවයකින් ඔබ විසින් අනාගතය වෙත ගෙන යන බව මට විශ්වාසයි.

මිනිසුන් ලෙස මේ පොළොවේ උපදින අපට ඇති අත්හැරිය නොහැකි වගකීම වන්නේ මේ ලෝකය වඩා උසස් මනුෂ්‍යත්වයක් සහිත තැනක් බවට පත් කිරීමයි. එසේම ඒ උසස් මනුෂ්‍යත්වය සමානව උකහා ගැනීමට සියලු මිනිසුන්ට අවකාශ සලසා දීමයි. නිදහස වෙනුවෙන් වන අරගලය බැඳී ඇත්තේ මෙන්න මේ උත්තුංග අරමුණ සමඟයි.

මේ නිසා ඒ නිදහසේ සිහිනය එක්ව දකිමු, ඒ සිහිනය එක්ව සැබෑ කර ගනිමු.

සමහර විට ඔබ සහ මම, අපි සියලුදෙනා එක්ව මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නූතන දේශපාලන ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට අපේ මාතෘ භූමිය, මේ ශ්‍රී ලංකා රාජ්‍යය පත් කරන ගමනක් විය හැකි බවද මතක තබාගන්න. අපට නියත ලෙසම මේ ලෝකයේ ධනවත්ම රට බවට පත් විය නොහැකි නමුත්, අප උත්සාහ කළොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සමානාත්මතාවයේ හා නිදහසේ ආදර්ශ රාජ්‍යය බවට පත් විය හැකියි.

ජයසිරි මුණසිංහ

ඡායාරූප-සුලෝචන ගමගේ, චින්තක කුමාරසිංහ, වාසිත පටබැඳිගේ 

ජනාධිපති මාධ්‍ය අංශය