ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජපානයෙන් මිලියන 565ක්

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (03) සිදු වූ අතර ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය ඉකුඉනා අකිකෝ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අත්සන් තැබූහ. ජපාන අගමැතිවරයාගේ සුබ පැතුම් පණිවිඩය ද උප අමාත්‍යවරිය මෙහිදී ජනාධිපති වෙත පිළිගැන්වූවාය. වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල ආයෝජන ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමු වෙමින් තිබෙන බව ද ඇය මෙහිදී සඳහන් කළාය.

ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබා දීම පිළිබඳව ජපාන රජය වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඉදිරියේ දී එම අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය නංවාලීම සඳහා ජපාන ආධාර සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙසත් ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.

මෙම ප්‍රදානය මඟින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසළ ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28ක් සපයනු ලබයි. ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැඟෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක් බැඟින් ලබා දීමට නියමිතය.

දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියටත් ජපාන රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ද මෙහිදී උප අමාත්‍යවරිය සඳහන් කළාය.

ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කිරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ජපාන රජය වෙත ස්තුතිය පළ කළේය.

වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන දූෂණ විරෝධී වැඩපිළිවෙළ කිසිදු අයුරකින් පළුදු නොකර ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජපාන රජයේ ආධාර ඇතිව මෙරට ආරම්භ කර අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ජපාන රජය වෙත ස්තුතිය පළ කළේය.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී ජපාන රජය ලබා දුන් සහාය වෙනුවෙන් ද කෘතවේදීත්වය පළ කළේය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ,

ජපාන තානාපති අකිඕ ඉසෝමතා (ISOMATA Akio), ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍යවරයාගේ ලේකම් සයිතෝ ජුන් (SAITO Jun) ද මේ අවස්ථාවට එක්වූහ.

ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මුරොතානි මසකත්සු (MUROTANI Masakatsu), විදේශ ආධාර සැලසුම් අංශයේ II වන අධ්‍යක්ෂ හිරෝසි අකිකෝ(HIROSE Akiko), නිරිතදිග ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉවාසෙ කිචිරෝ (IWASE Kiichiro) මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.