ශ්‍රී ලාංකේය ජාතිය අධිරාජ්‍යවාදීන්ගෙන් මිදුණු අභිමානවත් නිදහසේ හැත්තෑ හත් වැනි සංවත්සරය අදට (04) යෙදී තිබේ.
“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දිනය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වේ.
මෙවර නිදහස උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර වෙනත් නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩි වශයෙන් සහභාගි කරවා ගැනීමට ද සැලසුම් කර තිබේ.
එමෙන්ම වෙනත් වසරවල දරන වියදමට වඩා අඩු වියදමක් මෙවර උත්සවය සඳහා දැරීමට ද රජය සැලසුම් කර ඇති අතර පසුගිය වසරේ ගාලු මුවදොර පැවති නිදහස් දින උලෙළට රුපියල් මිලියන 200ක මුදලක් වැය කර ඇත. මෙවර විශේෂත්වය වන්නේ එම වියදම රුපියල් මිලියන 87ක් දක්වා අඩුකර තිබීම වන අතර නිදහස් දින සැමරුම් පෙළපාළියේ සංයුතිය ද මෙවර වෙනසකට භාජනය කරමින් මින් පෙර යොදාගත් හමුදා සංයුතිය සියයට 40කින් අඩු කර තිබේ.
ඒ අනුව හමුදා සාමාජිකයන් 1873ක් පමණක් මෙවර සහභාගි කරවා ගැනීමට නියමිත අතර ගිය වසරේදී පෙළපාළිය සඳහා 3384 දෙනකු සහභාගි කරවා ගෙන ඇත. ඒ අනුව මෙවර සෙබළුන් 1511 දෙනකුගේ අඩුවීමක් දක්නට ලැබේ. එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගැනීමට තීරණය කර ඇති අතර නාවික හමුදාව විසින් පවත්වන සාම්ප්‍රදායික වෙඩි මුර 25 මෙවරද පවත්වනු ලැබේ. පසුගිය වසරේ භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට ද සැලසුම් කර ඇත.
සාම්ප්‍රදායිකව නිදහස් දින දහවල් 12.00ට මුහුදේ නෞකාවක් තුළ නාවික හමුදාව විසින් පවත්වනු ලබන වෙඩි මුර 25ක් පැවැත්වීම මෙවර ද පැවැත්වේ.
නව දේශපාලන සංස්කෘතියක් සහ නව ප්‍රවේශයක් මේ රටට අවශ්‍ය බව කියමින් පසුගිය සමයේ බහුතර ජනතාව පෙළගැසුණු බවත්, එම පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් මෙවර නිදහස් උලෙළ පැවැත්වෙන බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්. අබයරත්න මහතා පවසයි. මේ රටේ සියලු පුරවැසියන්ට සමානව සලකන සිංහල, දමිළ ඇතුළු සියලු ප්‍රජාව සහෝදරත්වයෙන් කටයුතු කරන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට 77 වන නිදහස් උලෙළ උපයෝගී කර ගන්නා බව ද ඒ මහතා කියයි.