ජනපතිගෙන් ගෝඨාට රනිල්ට හේමාට ස්තුතියක්

අශිෂ්ටත්වයේ සිට ශිෂ්ටත්වය කරා මේ රට ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (01) ගල්ගමුවේ පැවති සුහද හමුවට සහභාගි වෙමිනි. “ගිය අවුරුද්දෙ එක ජනාධිපතිවරයෙකුගෙ ආරක්ෂක වියදම දස ලක්ෂ 700යි. ආසන්න වශයෙන් ගත්තොත් මාසික වියදම ලක්ෂ 600යි. අපේ රටේ දැන් යුද්ධයක් නැහැ. ආරක්ෂාව තහවුරු වෙලා තිබෙනවා.” එක් පුද්ගලයෙකුගෙ ආරක්ෂක වියදමට මෙතරම් මුදලක් වැය කිරීම සාධාරණද? නැහැ. දැන්වත් මහජන මුදල් නාස්ති නොකර ඉන්න ඕනෙ. පිට්ටනියක් වගේ ගෙයක දෙන්නෙක් ඉන්න එක සාධාරණ නැහැ. ලක්ෂ 4700ක් වියදම් කර තිබෙනවා ඒක අලුත්වැඩියා කරන්න. ඉන්නම තැනක් නැත්නම් දෙන්නට සරිලන ගෙයක් දෙන්නම්. හැබැයි ඔය ගේ නම් දෙන්නෙ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය ඉවර වූ පසු ගෙදර ගියා. ස්තුතියි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ හේමා ප්‍රේමදාස මැතිනිය රජයෙන් දුන් නිවාස භාර දුන්නා. ස්තුතියි. නිවාස භාර නොදුන් තවත් ජනාධිපතිවරු තුනක් ඉන්නවා.

සොයා ගන්න බැරි සෑම ඝාතනයක් පසුපසම දේශපාලනය තිබෙනවා. අප අපරාධකාරයො ආරක්ෂා කරන්නෙ නැහැ. පත්තරේක ලිපියත් ලිව්වා කියා පුද්ගලයකු ඝාතනය කරන්න පුළුවන්ද? ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29ක් අතුරුදන්. මෙම 17 දින අපේ අය-වැය ලේඛනය ඉදිරිපත් කරනවා. මෙය හොඳ අය-වැය ලේඛනයක් වෙනවා.

අපට බලය ලැබීමට විරුද්ධ වූ පිරිස් අප තව තවත් ස්ථාවර වීමට ප්‍රථම වට්ටන්න උත්සාහ කරනවා. පසුගිය දා අප ණය අරගත් රටවල් සමඟ සාකච්ඡා කළා. ණය අරගත් අනෙකුත් පාර්ශ්ව සමඟද සාකච්ඡා කළා. ඒ අනුව පසුගිය දෙසැම්බර් 21 දින එකඟතාවකට පැමිණුනා අප ලබාගත් ණය ගෙවීම් සඳහා යම් කාලයක් ලබාදීමට. 2028ට දා ගත්තා. ඒ වගේම අපට ලබා දී තිබෙන ණයවලින් යම් ප්‍රමාණයක් කපා හරින්නත් එකඟ වුණා. අප ගත් ණයවලින් උපරිම ගත්තොත් 28%ක් කපනවා. අවමය ගත්තොත් 18%ක් කපනවා. ඒ අනුව දෙසැම්බර් 21 අපේ රට බංකොලොත්භාවයෙන් නිදහස් වූ රටක් බවට පත්වුණා. දැන් අප ණය නොගෙවන රටක් නොවේ. ඩොලරයේ අගය ඉහළ යාම නිසා වාහන මිල ඉහළ යනවා. අපත් බදු කිහිපයක් පනවා තිබෙනවා. වාහන ගෙන්වන විට ආරම්භයේ දී මිල ඉහළ යයි. කාලයක් යනවිට මිල අඩු කිරීමේ බලාපොරොත්තුවක්ද තිබෙනවා. කරෙයිනගරවල ජැටිය ආධාරයක් යටතේ ඉදිකරන්න ඉන්දියාව එකඟ වුණා. චීනය අපට පාසැල් නිල ඇඳුම් 100%ක් නොමිලේ ලබාදෙනවා. ලබන අවුරුද්දේත් ලබාදෙන බවට එකඟතාව පළ කර තිබෙනවා. රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා මේ මාසෙ මැද මැදපෙරදිගට සංචාරය කරනවා. ජපානය කුණු අදින ලොරි 28ක් ආධාර ලෙස ලබා දෙන්න එකඟතාව පළ කර තිබෙනවා. ලෝක බැංකුව එළඹෙන වසර සඳහා මුදල් වෙන් කිරීමේ දී මෙතෙක් ලංකාවට වෙන් කරන ලද මුදල්වලින් වැඩිම ප්‍රමාණය ලබන අවුරුද්දේ අපේ රට වෙනුවෙන් වෙන් කරන්න එකඟතාව පළ කර තිබෙනවා. මේ රටේ ගුරු හිඟය අවසන් කරනවා. ගමේ ගොවිපළ හදනවා. ගම්වල ආර්ථික ඒකක හදනවා. පෙර තිබූ මානසික සුවය, නිදහස ගම්වලට ගෙනෙනවා. 2030 වන විට කන්ටේනර් ලක්ෂ 110ක් වරායට ගේන්න සැලසුම් කර තිබෙනවා.