විදෙස් දුම්වැටි තොගයක් සමග ගණකාධිකාරීවරයෙක් ගුවන් තොටුපළේ දී මාට්ටු

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද අලුයම 12.15  ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648  දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ගණකාධිකාරීවරයෙක් බවට ද අනාවරණය කර ගෙන තිබේ.

ඔහු විසින් රැගෙන ආ දුම්වැටි 38,800ක් අඩංගු දුම්වැටි කාටූන් 179ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්හාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න බවද සඳහන් වේ.

අදාළ ගුවන් මගියා මේ වන විට පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර ඔහු සඟවා ගෙන පැමිණි මෙම දුම්වැටි තොගය එළැඹෙන 05 වැනිදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.