ප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙන් යුත් මාර්ග සංඥා පුවරු

ප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙන් යුතු මාර්ග සංඥා පුවරු ඉක්මනින්ම ඉදිකිරීමට හා එම පුවරුවලට අදාළ මාර්ගයේ වායු තත්ත්වයය පිළිබඳව දත්ත ලබා ගතහැකි නවීන යන්ත්‍ර ඇතුළත් කිරීමට අදාළව වැදගත් ව්‍යාපෘතියක් වායු විමෝචන අරමුදල හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධානය යොමුව ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට පිහිටි එහි ප්‍රධාන කාර්යාලය වෙත පසුගියදා නිරීක්ෂණක යෙදුණු අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා තර තිබේ.

එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු නිකුත් කිරීමේ අංශය නිරීක්ෂණය කිරීමේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාළ සේවාලාභින් බොහෝ  පිරිසක් තම නව අංක තහඩු නැවත රැගෙන ගොස් නොමැතිව  එම ආයතනය තුළ ගොඩ ගැසී ඇති ආකාරය එම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.

අංක තහඩුව මුද්‍රණය වී අදාල අංශය වෙත ලැබුණු පසු සේවා ලාභියාට එය දැනගත හැකි වන පරිදි sms පණිවිඩයක් සේවාලාභියාගේ  දුරකථනයට යොමු කිරීම සඳහා එහිදී සාකච්ඡා වී ඇත.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිතව ඇති යතුරුපැදි , කාර්, බස්, ලොරි, වෙළඳ වාහන , ත්‍රීවීල්, විමර්ශන, කාර්මික , තොරතුරු තාක්ෂණ වැනි අංශ ද නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම අංශවලින් සපයන සේවාවන් පිළිබඳව සේවාලාභීන්ගේන්ද අදහස් විමසන ලදී.

සේවාලාභීන්ගේ කාලය තවදුරටත් ඉතිරි කරදීම උදෙසා කළ හැකි කාර්යයන් පිළිබඳවද එහිදී විශේෂයෙන් සාකච්ඡා වී ඇති අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු අංශ නිරීක්ෂණය කළ අමාත්‍යතවරයා මහජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට කැපවන ලෙස එහිදී
උපදෙස් ලබා දී ඇත.