පුද්ගලයන් 179 දෙනකුට මරු කැඳවමින් පසුගිය දෙසැම්බරයේ දකුණු කොරියාවේ සිදුවූ මාරක ගුවන් අනතුරට හේතුව එන්ජිම තුළට කුරුල්ලකු ගැටීම බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අනතුර පිළිබඳ සිදු කළ පරීක්ෂණ වාර්තාව එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සියට සහ අමෙරිකාව, ප්‍රංශය සහ තායිලන්තය ඇතුළු රටවල ගුවන් බලධාරීන්ට භාර දී ඇති අතර, ගොඩබැස්වීමට පෙර එන්ජිමක් තුළට කුරුල්ලකු වැදීම හේතුවෙන් ගුවන්යානය පාලනය කරගැනීමට නියමුවන්ට නොහැකි වූ බව එහි සඳහන් වී ඇතැයි වාර්තා වේ.
කොන්ක්‍රීට් බැම්මේ ගැටී තැළී පොඩිවී ගිය එන්ජිමෙහි කැබැලි අතර නැඟෙනහිර ආසියානු කලාපයේ බහුල බයිකල් ටීල් නමැති කුරුළු විශේෂයකට අයත් කුරුල්ලකුගේ කොටස් තිබූ බව ඩීඑන්ඒ පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.
තායිලන්තයේ බැංකොක් ගුවන්තොටුපොළ සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ දක්වා පියාසර කළ එරට ජේජු ගුවන් සේවයට අයත් එම ගුවන්යානය ගොඩබැස්වීමේදී අධික වේගයෙන් ඇදී ගොස් ධාවන පථයේ අවසානයේ ඉදි කර තිබූ විශාල කොන්ක්‍රීට් බැම්මක ගැටී පිපිරී ගිනිගෙන විනාශ වී තිබිණි.