පාර්ලිමේන්තුවේ කෑගසන්නේ තමා වුවත් එයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සහෝදරයාට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඊයේ (27) මේ බව කීවේය.
“රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැය කරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ඇයි මෙහෙම කරන්නේ කියලා මගෙන් අහන්න එපා. ඒක අහන්න නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිගෙන්, පොලිස් ඇමැතිගෙන් සහ රටේ ජනාධිපතිවරයාගෙන්. හැබැයි ඉතින් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලය වැය කරන්න ඕන ආණ්ඩුව දේශපාලනඥයන්ව දඩයම් කරන්න සහ පවුලේ අයව දඩයම් කරන්න යොදනවා. පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මමනේ. හිරේ යන්නේ මල්ලි.
අපරාදේ හයිවේ එක දිගේ බෙලිඅත්තටම ඇවිත් අත්අඩංගුවට ගත්ත එක. එන්න කිව්වානම් අපි එනවා. තෙල් ගහගෙන බෙලිඅත්තට යන්නේ අපරාදේ. එන්න කිව්වා නම් ඇවිත් කටඋත්තරය දෙනවානේ. අපි වැරැද්දක් කරලා තියෙනවා නම් අධිකරණයේදී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා එපා යැයිද හෙතෙම මෙහිදී කීවේය.