“අපේ ආණ්ඩුවට මාස දෙකක් වුණාට රට විනාශ කළ සහ රට ආර්ථික වශයෙන් බංකොලොත් කරපු අය අවුරුදු දෙකක විවේචන එල්ල කරනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
“ලෙනින් කියවමු” මැයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැති සමරු වැඩසටහනට පෙරේදා (21) එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
වසරක් පාසා පැවැත්වෙන ලෙනින් සමරු වැඩසටහන මෙවර “විප්ලවීය ව්‍යවහාරයේ විශ්වීය සලකුණ” තේමාව යටතේ පැවැත්විණි. ව්ලැඩිමියර් ලෙනින් අභාවප්‍රාප්ත වී වසර 101ක් ගත වීම සමරනු වස් මෙහිදී මිනිත්තුවක නිශ්ශබ්දතාවක් ද පළ කෙරිණි.
එහිදී ඒ මහතා මෙසේ ද කීවේය,
අපි බලය ගන්න කොට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණා. දැන් අපේ ආණ්ඩුවට මාස දෙකක් වෙනවා. නමුත් ආණ්ඩුවට අවුරුදු දෙකක විවේචන එල්ල කරලා තිබෙනවා. පරාජයට පත් වෙච්ච අපේ හතුරෝ, මේ රට විනාස කරපු සහ මේ රට කඩා වට්ටවන්න වැඩ කරපු අය, මේ රට බංකොලොත් කරපු අය, ඉතාම අවලස්සන දේශපාලන සංස්කෘතියක් බවට රට පත් කරපු අය මේ වැඩේ කරගෙන යනවා.
යමක් අලුතෙන් පටන් ගන්න එක ලේසි නෑ. නමුත් පරණ දේ පවත්වා ගෙන යන එක ලේසියි. අපි අලුතෙන් යමක් පටන් ගත්තා. පටන් අරන් ඒකේ අත්දැකීම් ගොඩක් අපට කියලා තියනවා. පහුගිය කාලේ ඇතැමුන් දැන් හොරු ඇල්ලුව ද කියලා අපෙන් ප්‍රශ්න කළා. අපි දැන් වැඩේ පටන් අරගෙන තිබෙන්නේ. ඒ නිසා දැන් ඒ අය කලබල වෙලා. දැන් කියනවා මෙන්න පළිගන්න හදනවා කියලා. අපි මේ රටට කිසිදු ප්‍රශ්නයක් හදලා නෑ. අපි මේ රටට රටේ ජනතාවට මේ මාස කිහිපයේ කිසිදු වැරැද්දක් කරලා නෑ. අපි අභියෝග කරනවා කාට හරි පුළුවන් නම් අපි කරපු එක වැරැද්දක් කියන්න කියලා.
මේ රට ගොඩනැඟීමට ජනතා විමුක්ති පෙරමුණේ පුද්ගලයන් පමණක් නොව සියල්ලන්ම එක් විය යුතු වෙනවා. ඕනෑම හොඳ දෙයක් ඕනෑම ක්‍රියාවක් යහපත්ව ඉදිරියට ගෙන යා හැකි වන්නේ ඉදිරියේ දී සිදු වන අරගලයන් සමඟයි. එම අරගල ජය ගැනීමට දැනුම සහ ශක්තිය තම දේශපාලන ව්‍යාපාරයට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම, ශක්තිය ලෙනින්ගේ චරිතය තුළින් ලබාගත හැකි යැයි ද හෙතෙම කීවේය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලෙනින් සමරු කමිටුවේ සභාපති චන්දිම විමලසුරේන්ද්‍ර, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි, පක්ෂ සාමාජිකයන්, වෘත්තීය සමිති සංවිධාන නියෝජිතවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.