රටක් වශයෙන් ආර්ථික අපහසුතා පවතින මොහොතක ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් කෝටි 2,000 (යුවාන් මිලියන 500)ක ප්‍රදානයක් චීන රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන බව විදේශ කටයුතු, සංචාරක සහ විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරය අතරතුර සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් එම මුදල ශ්‍රී ලංකාවට හිමි වන බව පෙන්වා දෙන ඒ මහතා නැවත ගෙවිය යුතු නොවන මෙවැනි ප්‍රදාන ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් බව ද ඊට අමතරව ශ්‍රී ලංකාවට සහ චීනයට එක සේ වැදගත් වන ගිවිසුම් 15කට අත්සන් තැබීමට හැකිව තිබෙන බව ද පෙන්වා දෙයි.
ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ,
“චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් චීනයේ සංචාරය සඳහා සහභාගි වුණා. වෙනදා එවැනි රාජ්‍ය ආරාධනාවකට විශාල පිරිසක් යනවා. නමුත් මෙවර ගියේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණයි. එය පැහැදිලි වෙනස්කමක්.
එහිදී එකඟතා රැසකට පැමිණියා. දින 4ක් මේ සංචාරය සිදු වුණා. 15 දා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සමඟ සාකච්ඡාවක් පැවතියා. දෙපාර්ශ්වය අතර සහයෝගීතාව වර්ධනය කර ගන්න එහිදී අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී චීන ජනාධිපතිවරයාට ස්තුතිය පිරිනැමුවා. වර්තමානයේත් අඛණ්ඩව ශ්‍රී ලංකාවට චීනයෙන් සහාය ලැබෙනවා. තවදුරටත් ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් සහාය දෙන බවට පැවසුවා.
එහිදී චීන අගමැතිවරයා හා චීන මහජන කොංග්‍රසයේ ප්‍රධානියා හමු වුණා. ඊට අමතරව තවත් නායකයන් සමඟ සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. තවදුරටත් චීනයේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බවට පොරොන්දු වුණා. චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා වුණා.
කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරිය ඇතුළු ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර ඒකාබද්ධ ප්රකාශනයක් නිකුත් කරන්න අපි පියවර ගත්තා. දෙරට අතර සහයෝගීතාව සම්බන්ධයෙන් එහිදී කරුණු දැක්වූවා. එක් චීනයක් ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වා ගෙන යන්න ශ්‍රී ලංකා රජය කැප වන බවට ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවට හානි වන ආකාරයෙන් කටයුතු සිදු වනවා නම් එය වැළැක්වීමට චීන රජයෙන් සහාය ලබාදෙන බවට ද පොරොන්දු වුණා. ඉතිහාසයේ දී අපේ රට තර්ජනවලට ලක් වූ හැම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය වෙනුවෙන් චීනය පෙනී සිටියා. එය ඉදිරියටත් ශක්තිමත්ව ඉටු කරන බවට පොරොන්දු වුණා. ඒ ජාත්‍යන්තර සහාය ඉදිරියට නිරන්තයෙන් ලබාදෙන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා සහතික වුණා. ඒ අනුව රටක් ලෙස චීනය අපිට ඉතාම වැදගත්. එනිසාම මෙය වාසි රැසක් ගෙන දුන් සංචාරයක් වෙනවා.
ශ්‍රී ලංකාව ශක්තිමත් ලෙස ඉදිරියට යන විට චීනයේ සහාය අපිට අවශ්‍ය වෙනවා. එම සහාය ලබාදෙන බවට චීන රජය ප්‍රකාශ කළා. මේ සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් හා එකඟතා ලියවිලි 15ක් සඳහා අත්සන් තැබුවා. එහිදී අපිට චීන රජය විශාල මූල්‍ය ප්‍රදානයක් ලබා දුන්නා. යුවාන් මිලියන 500ක ප්‍රදානයක් අපිට චීනයෙන් ලබා දුන්නා. එය රුපියල් බිලියන 20ක පමණ ආධාරයක්. එය ශ්‍රී ලාංකිකයන්ට විශාල ශක්තියක් වගේම විශාල වාසියක්.
වරාය නගර ව්‍යාපෘතිය තුළ නව ජාත්‍යන්තර රැස්වීම් හා සමුළු පැවැත්වීමේ හැකියාව තිබෙන සම්මන්ත්රණ ශාලාවක් චීනයේ ප්‍රදානයක් ලෙස ඉදිකර දෙන්න ඉදිරිපත් වුණා. එය සම්පූර්ණයෙන්ම චීනයෙන් අපිට නොමිලේ ලබාදෙන සම්මන්ත්රණ ශාලාවක් වෙනවා. රට තුළ ඉහළ මට්ටමේ සමුළු පවත්වන්න ඒ තුළින් හැකි වෙනවා. 2025 වසරට චීන රජය මඟින් පාසල් හා පිරිවෙන් ළමයින්ට අවශ්‍ය නිල ඇඳුම නොමිලේ ලබාදෙන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒකට අපේ ස්තුතිය පිරිනමනවා.
2026 වසර සඳහා ද පාසල් හා පිරිවෙන් ළමයින්ට අවශ්‍ය නිල ඇඳුම් නොමිලේ ලබාදෙන්න ඉදිරිපත් වී තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 600ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කුකුළු මස් කොටස් චීන වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. එය අපේ නිෂ්පාදකයන්ට අනඟි අවස්ථාවක්. තිරිඟු ඇට මෙරටට ගෙනවිත් පිටි නිෂ්පාදනය කරනවා. තිරිඟු පොතු චීනයට අපනයනය කරන්න අවස්ථාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්නත් චීන සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගන්නත් අවශ්‍ය ගිවිසුමට අත්සන් කර තිබෙනවා.
හම්බන්තොට ඉන්ධන පිරිපහදුවක් ඉදි කරන්න ඩොලර් බිලියන 3.5ක් වෙන් කරන්න පියවර ගෙන තිබෙනවා. දැනට මූලික වශයෙන් ඇති ඉඩම් හා ජලය ලබා ගැනීම, ව්‍යාපෘතියට ලබාදිය යුතු බදු සහන සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. මේ තෙල්වලින් ශ්‍රී ලංකාවේ වෙෙළඳපොළට ලබාදෙන ප්‍රමාණය ආදිය පිළිබඳව අපි සාකච්ඡා කරනවා.
මාසයක් ඇතුළත ඉඩම්, ජලය ආදිය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනවා. අපේ රට තුළ දැනට ක්‍රියාත්මක චීන ව්‍යාපෘති රැසක් තිබෙනවා. ඒ සියලු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන්න දෙපාර්ශ්වය පියවර ගෙන තිබෙනවා. දැනටමත් අපිට ලබාදෙන සහල්, ධීවර දැල් ආම්පන්න, නිවාස සඳහා යුවාන් මිලියන 35.7ක මුදලක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන්න චීනය එකඟ වී තිබෙනවා. ඒ ලියවිල්ලට අපි අත්සන් කළා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයක් චීනයේ ප්‍රධාන මාධ්‍ය ආයතන අතර ගිවිසුම් 5කට අත්සන් කළා. මේ මාධ්‍ය ආයතනවල වැඩ කරන මාධ්‍යවේදීන්ට එමඟින් සහන සැලසෙනවා. රටක් ලෙස අපේ අන්තර්ජාතික සබඳතා ඉදිරියට ගෙන යන්න චීන සංචාරය වැදගත් වෙනවා.
මෙහිදී පිරිපහදු කරන ඉන්ධන අපනයනය කරනවා. එහි යම් කොටසක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ලබාදෙන්නත් සාකච්ඡාවක් තිබෙනවා. මසක් ඇතුළත ඒ සම්බන්ධයෙන් එකඟතාවකට එනවා. අපි ඒකට භූමිය හා යටිතල පහසුකම් ලබා දෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරනවා. ඒ අනුව අපිට එවැනි අවස්ථාවක් ලැබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවට ඉතාම වාසිදායක තත්ත්වයක් ලැබෙනවා” යැයි පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් රුවන්ති දැල්පිටිය මහත්මිය සහ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.