සයිෆ් අලි ඛාන් රෝහලෙන් පිටව යයි

පිහි ඇනුම් ප්‍රහාරයකින් තුවාල ලද බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්, ප්‍රතිකාරවලින් පසු ඊයේ (21) රෝහලෙන් පිටව ගොස් තිබුණි.

මුම්බායි හි ලීලාවතී රෝහලෙන් පිටව යන සයිෆ්ගේ වීඩියෝ මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවති.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, සයිෆ් සිය ආරක්ෂාව තරකර ගැනීම සඳහා සෙසු නළු රොනිත් රෝයිගේ සමාගමේ සේවය ද ලබාගෙන ඇති බවයි.

එලෙස සුවය ලබා යළි නිවසට පැමිණෙන සයිෆ්ව පිළිගැනීමට කරීනා ඇතුළු පවුලේ සියලු දෙනා මහත් උනන්දුවෙන් සූදානම්ව ඇති අන්දමත් දක්නට ලැබුණි. ඉන්දීය මාධ්‍ය එය වාර්තා කර තිබුණේ, ‘ඔවුන්ගේ නිවස දීපවාලි උත්සවයකට මෙන් සරසා’ තිබුණු බවයි.

මෙම පිහි ඇනුම, සයිෆ් – කරීනා යුවළගේ නිවසේ සොරකමක් කිරීමට ගත් උත්සාහයකදී සිදු වූවක් වූ බව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

සයිෆ්ගේ නිවසට සැකකරු ඇතුළු වී තිබුණේ ඔහු සිය බිරිඳ කරීනා කපූර් සහ පුතුන් වන තායිමූර් – ජේ දෙදෙනා සමඟ නිදා සිටියදී ය.

පසුව නළුවා සහ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා අතර ගැටුමක් ඇති ව ඇති අතර, අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා සයිෆ් අලි ඛාන්ට කිහිප වතාවක් පිහියෙන් ඇන අපරාධ ස්ථානයෙන් පළා ගොස් තිබුණි.