ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව විධිමත්ව සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ සඳහා මේ කර්මාන්තය හා සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ අපනයනකරුවන්ගේ සංගමයේ, අභිජනනය කරන්නන්ගේ සංගමයේ, ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානයේ (SLADA) සහ සියලු අදාළ පළාත්වල නියෝජිතයන් ඇතුළු ක්ෂේත්රයේ ප්‍රධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මේ සාකච්ඡාව පැවැත්විණි. ඉස්සන් කර්මාන්තය මුහුණ දෙන වර්තමාන අභියෝග සහ ඉස්සන් කර්මාන්තයට වැඩි අවස්ථා නිර්මාණය කිරීම සඳහා වන උපායමාර්ග සකස් කිරීමට මෙහිදී මූලික අවධානය යොමු කෙරිණ. එමෙන්ම ඉස්සන් වගා අංශයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සහ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට ඉදිරි මාස තුනේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය.
ඉස්සන් කර්මාන්තයේ ප්‍රධාන ක්‍රියාකාරකම්, සිදුවීම් සහ ඉලක්ක ඇතුළත් වාර්ෂික දින දර්ශනයක් සකස් කිරීම මඟින් සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාව සහතික කෙරෙන රාමුවක් සැකසීම, පරිසරයට සුදුසු තිරසර සහ කාර්යක්ෂම ජලජීවී වගා ක්‍රම හඳුනාගෙන ප්‍රචලිත කිරීමට නාරා ආයතනය විසින් විශේෂ පර්යේෂණ සිදුකිරීම හා මේ පර්යේෂණ මඟින් නිෂ්පාදනය ප්රශස්ත කිරීම, පාරිසරික බලපෑම අවම කිරීම සහ ශ්‍රී ලංකා ඉස්සන්ගේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට මේ සාකච්ඡාවේදී තීරණය විය.
ධීවර ඇමැති පෞද්ගලික ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස, නැක්ඩා සභාපති කිත්සිරි ධර්මප්‍රිය සහ නාරා සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.